2024 IPL වෙනුවෙන් කණ්ඩායම් කිහිපයකම වෙනස්කම් සිදු වේ

IPL 2024

2454

2024 IPL තරගවාරය සඳහා කණ්ඩායම්වලට ක්‍රීඩකයින් එක් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය (Mini Auction) දෙසැම්බර් 19 පැවැත්වීමට නියමිතයි.

එම වෙන්දේසියට පෙර කණ්ඩායම් අතර ක්‍රීඩකයින් හුවමාරු කර ගැනීමට සහ කණ්ඩායම්වල රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් තහවුරු කර ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා. එළඹෙන ඉරිදා (26) වන තෙක් කණ්ඩායම්වලට මේ සඳහා අවස්ථාව ඉතිරි වී තිබෙනවා.

ඒ අනුව ගෙවුණු දින කිහිපය මුළුල්ලේ ම IPL තරගාවලියේ ක්‍රීඩක හුවමාරු වීම් සහ පුහුණුකරුවන් මාරු වීම් පිළිබඳ පුවත් වාර්තා වුනා.

ක්‍රීඩක තොරතුරු

වත්මන් එංගලන්ත ටෙස්ට් නායක සහ Chennai Super Kings කණ්ඩායම් සාමාජික Ben Stokes 2024 IPL තරගාවලියෙන් ඉවත් වන බව ඊයේ (23) දිනයේ දැනුම් දී තිබුණා. ශරීර යෝග්‍යතා ගැටලු සහ කාර්ය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2023 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 16.5ක් වැනි ඉතා ඉහළ මුදලකට CSK වෙතින් Ben stokes ලබා ගත් නමුත්, එම තරගවාරයේ දී ඔහු CSK වෙනුවෙන් ක්‍රීඩා කළේ තරග දෙකක් පමණයි. කෙසේ වෙතත් Stokesගේ මෙම ඉවත් වීමත් සමඟින් ඔහුගේ වටිනාකමට අදාළ මුදල එළඹෙන ක්‍රීඩක වෙන්දේසියේ දී නැවත පාවිච්චි කිරීමේ අවස්ථාව CSK වෙත හිමි වනු ඇති.

එමෙන්ම මෙතෙක් තරගාවලි දෙකක් තුළ Lucknow Super Giants වෙනුවෙන් ක්‍රීඩා කළ Avesh Khan, Rajasthan Royals වෙත ලබා දී ඇති අතර, ඒ වෙනුවට Lucknow විසින් Royals වෙතින් Devdutt Padikkalව ලබා ගෙන තිබෙනවා.

2022 IPL ක්‍රීඩක වෙන්දේසියේ දී Lucknow සමඟ එක් වූ Avesh විසින් තරගවාර 2ක් තුළ තරග 22ක දී කඩුලු 26ක් දවා ගැනීමට සමත් වුනා. මේ අතර Royal Challengers Bangalore කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් පසු Rajasthan Royals වෙත ගිය Padikkal විසින් RR වෙනුවෙන් තරග 28ක දී ලකුණු 637ක් වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම මීට පෙර Lucknow Super Giants නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Romario Shepherd ද Mumbai Indians කණ්ඩායම විසින් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරු මෙන්ම වේග පන්දුවෙන් ද දක්ෂතා පෙන්වන Romario 2024 තරගාවලියේ දී Mumbai Indians වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති.

පුහුණුකරුවන්ගේ තොරතුරු

මේ අතර මෙතෙක් කල් Lucknow Super Giants කණ්ඩායම සමඟ කටයුතු කළ හිටපු ඉන්දීය පිතිකරු Gautam Gambhir නැවතත් Kolkata Knight Riders කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බවත් මීට පෙර වාර්තා වුනා.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර Royal Challengers Bangalore කණ්ඩායමේ පුහුණුකරු ලෙස Andy Flower වගකීම් බාර ගත්තා. මීට අමතර මෙතෙක් කල් Sunrisers Hyderabad ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Brian Lara වෙනුවට හිටපු නවසීලන්ත ක්‍රීඩක Daniel Vettori SRH ප්‍රධාන පුහුණුකාර ධුරය බාර ගෙන තිබෙනවා. Vettori විසින් මෙවර එක්දින ලෝක කුසලානය සහ නිමා වූ අළුබඳුන තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස ද කටයුතු කළා.

2024 IPL තරගාවලිය සම්බන්ධ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<