ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේත් පරාජය වෙයි

196
Hong Kong Sixes - Sri Lanka vs Bangladesh

හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 2 වැනි තරගය ද අවසන් වෙන්නේ ප්‍රතිවාදීන්ගෙන් ලත් පරාජයත් සමඟයි. බංග්ලාදේශය සමඟින් පැවැති එම තරගයෙන් ඔවුන්ට ලකුණු 14ක පරාජයකට මුහුණ දීමට සිදු වූවා.

හොංකොං හි දී පැවැත්වෙන මෙම තරගාවලිය අද (07) එරට Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ තරග ද්විත්වය ම අවසන් කරන්නේ පරාජය දරා ගනිමිනුයි.

එහි දී ඔවුන් පළමුවෙන් ම සත්කාරක හොංකොං කණ්ඩායම සමඟ තරග වැදුණ අතර එම තරගය කඩුලු 4කින් පරාජය වූවා. ලත් එම පරාජයන් ද්විත්වය හේතුවෙන් ඔවුන් තරගාවලියේ පළමු වටය අවසන් කරන්නේ‍ D කාණ්ඩයෙන් අවසන් ස්ථානයට පත් වෙමින්.

>>ආසන්නත ම ශූරයෝ හොංකොං හමුවේ පරාජය වෙයි<<

පැවැති මෙම තරගයේ කාසියේ ජයග්‍රහණය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශය සතු කරනවා. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ තම පන්දුවාර 6 අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 75ක් ලබා ගනිමින්.

ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ක්‍රීඩකයන් 6 දෙනා ම දැවී ගොස් ඉනිම නිමා වීමට තවත් පන්දු 5ක් ඉතිරි ව තිබිය දි ලකුණු 61ක් පමණයි.

ශ්‍රී ලංකා Sixes කණ්ඩායම

 

ලහිරු මදුශංක (නායක), තනුක දාබරේ (කඩුලු රකින්නා), ධනංජය ලක්ෂාන්, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, නිමේෂ් විමුක්ති.

 

බංග්ලාදේශ Sixes කණ්ඩායම

 

Akbar Ali (නායක සහ කඩුලු රකින්නා), Habibur Rahman Sohan, Jishan Alam, Mosaddek Hossain, Abu Hider, Tofael Ahmed

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලා‍දේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දු වාරයේ දී ම දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් වූව ද එම පන්දුවාරය තුළ ලකුණු 20ක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.

අනතුරුව 2 වැනි පන්දුවාරය යැවූ නිමේෂ් විමුක්තිට ද දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට සිදු වෙනවා. ඔහුගේ එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී දුවද්දී දැවී යෑමක් සිදු වූ අතර එම කඩුල්ල දැවී ගිය පන්දුවට අමතර ව අනෙක් පන්දු අවසන් කිරීමට ඔහුට සිදු වෙන්නේ 4, 4, 6, 6 සහ 4ක් ලෙසයි.

එම පන්දුවාරය අවසන් වන විට බංග්ලාදේශය පන්දුවාර 2ක් තුළ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් බවට පත් ව තිබුණා. පළමු පන්දුවාර ද්විත්වයේ දී තත්ත්වය එය වූව ද ඉතිරි පන්දුවාර 4 ලකුණු 31කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා. එසේ වෙද්දී ලහිරු සමරකෝන් යැවුණ ඉනිමේ 4 වැනි පන්දුවාර ලකුණු 3කට සීමා කරමින් යැවීමට සමත් වීම ද කැපී පෙනුණා.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Akbar Ali. ඔහු පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු Habibur Rahman Sohan පන්දු 7ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී තරිඳු රත්නායක, ලහිරු සමරකෝන් සහ ධනංජය ලක්ෂාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රීඩකයන් 6 දෙනා ම දවා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූ අතර ඒ අතුරින් වැඩි කාර්ය භාරයක් ඉටු කළේ

Mosaddek Hossain. ඔහු තමන් විසින් යැවූ ඉනිමේ 2 වැනි පන්දුවාරයේ දී කඩුල්ලක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ඔහු විසින් යැවූ ඉනිමේ 4 වැනි පන්දුවාරයේ දී තවත් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව Tofael Ahmed සහ Abu Hider කඩුල්ල බැගින් දවා ගන්නවා.

ඒ ආකාරයෙන් අසරණ වූ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ලක්ෂාන්. ඔහු පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා. ඊට අමතර ව ලහිරු සමරකෝන් පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ද සහ ඉනිම ආරම්භ කළ තනුක දාබරේ පන්දු 3ක දී හයේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගන්නවා.

ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් පිතිකරුවන් වූ නායක ලහිරු මදුශංක ලකුණු 7කට ද, තරිඳු රත්නායක ලකුණු 5කට ද සහ නිමේෂ් විමුක්ති ලකුණු නොලබා ම ද දැවී යනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශ Sixes කණ්ඩායම – සියලුම දෙනා දැවී 75 (6.0) Habibur Rahman Sohan 21, Akbar Ali 32, තරිඳු රත්නායක 1/12

 

ශ්‍රී ලංකා Sixes කණ්ඩායම – කඩුලු 6ක් දැවී 61 (5.1) තනුක දාබරේ 12, ධනංජය ලක්ෂාන් 18, ලහිරු සමරකෝන් 13, Mosaddek Hossain 3/20

බංග්ලාදේශ Sixes කණ්ඩායමට ලකුණු 14ක ජයක්.

  • තරගයේ වීරයා – Mosaddek Hossain (බංග්ලාදේශය)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<