ආසියානු කුසලානයට එක් වෙන යොවුන් සිංහයෝ

3568

ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (06) අළුයම දිවයිනෙන් පිටත් වූවා.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සතු වෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති.

ඔවුන් මෙම තරගාවලිය හා එක් වෙන්නේ මීට පෙර, නිමා වූ මාසයේ දී පාකිස්තානයේ කළ සාර්ථක තරග සංචාරයෙන් අනතුරුවයි. යොවුන් එක්දින තරග 5කින් සමන්විත වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ තරග 3-2ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.

තරගාවලිය මේ මස 08 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 09 වැනිදා ජපානය සමඟින් Dubai, ICC Academy Ground No 2 හි දී පැවැත්වීමට නියමිතයි.

සිනෙත් ජයවර්ධන (නායක)

  • රාජකීය විද්‍යාලය, කොළඹ.
  • වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සිනෙත් ජයවර්ධන නිමා වූ පාකිස්තාන සංචාරයේ දී අර්ධ ශතකයක් සමඟින් ඉනිම් 5ක දී ලකුණු 151ක් ලබා ගන්නා ලද අතර පැවැති යොවුන් නිල නොලත් ටෙස්ට් තරගාවලියේ දී ඉනිම 4ක දී ලකුණු 120ක් ලබා ගන්නවා.

ඔහුගේ දක්ෂතා අතරට පළමු පෙළ තරග 3ක් ද ඇතුලත් අතර ඔහු අවස්ථා කිහිපයක දී ම මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. සිනෙත් 2022 ලෝක කුසලාන සංචිතයේ ද අසුන් හිමි වූ ක්‍රීඩකයෙක්.

මල්ෂ තරුපති (උප නායක)

  • රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල
  • දකුණත් පිතිකරු | වමතින් පා දඟ පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන මල්ෂ තරුපති නිමා වූ පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්වල දී ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. 2022 ලෝක කුසලාන තරගාවලියේ සිට ම ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මල්ෂ එවර තරගාවලියේ දී දුනිත් වෙල්ලාලගේ ට පසුව වැඩිම කඩුලු ලබා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙස ද ඉතිහාසයට එක් වීමට සමත් වූවා.

පුලිඳු පෙරේරා

  • ධර්මරාජ විද්‍යාලය, මහනුවර
  • වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නිමා කළ ආසන්නත ම තරග සංචාරයන්වල වඩාත් දක්ෂතා දැක් වූ  ක්‍රීඩකයා ලෙසයි පුලිඳු හැඳින් වෙන්නේ. ඔහු සහභාගී වූ අවසන් ඉනිම් 10 දී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 637ක් ලබා ගැනිමට සමත් ව තිබෙනවා. එහි සාමාන්‍ය 63.7ක්.

රූසඳ ගමගේ

  • සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය
  • වමත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් කටයුතු කරන රූසඳ සෑම විට ම ලකුණු අතර සිටිමින් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්. ඔහු නිමා වූ පාකිස්තාන යොවුන් එක්දින තරගාවලියේ තරග 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 222ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

රවිශාන් ද සිල්වා

  • පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ
  • වමත් පිතිකරු | වමතින් මඳ වේග පන්දු යවයි.

නිමා වූ පාකිස්තාන තරග සංචාරයේ දී මෙන් ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තරග සංචාරයේ දී ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ රවිශාන් ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් ලෙසින් කණ්ඩායම හා එක්ව සිටිනවා.

එම තරගවල දී ඔහුගේ අවසන් ඉනිම් 10 දක්ෂතා දැක් වෙන්නේ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 288ක් ලෙසයි.

පාසල් ක්‍රිකට් පිටියේ දෙවැනි පෙළ තරගාවලිය නියෝජනය කරන රවිශාන්, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී එම කාණ්ඩයේ Tier B කොටසේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වෙනවා.

ශාරුජන් ශන්මුගනාදන්

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන
  • වමත් පිතිකරු | කඩුලු රකින්නා.

නිමා වූ පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයන්වල ද වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව සිටි ශාරුජන් ශන්මුගනාදන් කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ද නම් කර තිබෙනවා.

දිනුර කළුපහන

  • මහින්ද විද්‍යාලය, ගාල්ල
  • දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

නිමා වූ පාකිස්තාන යොවුන් එක්දින තරගාවලියේ තරග 5ක දී ලකුණු 135ක් සහ කඩුලු 7ක් ලබා ගන්නා දිනුර බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව මෙරට පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගයේ දී නොදැවී ලකුණු 150ක් ලබා ගැනීමට ද සමත් වෙමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

දිනුර, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී දක්ෂතම පන්දු යවන්නා සේ ම දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයට පත් ක්‍රීඩකයායි.

විහස් තෙව්මික

  • තර්ස්ටන් විද්‍යාලය, කොළඹ
  • දකුණත් පිතිකරු | දකුණතින් පිට දඟ පන්දු යවයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක්වෙමින් පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරවලට ද එක් වූ විහස් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසිනුයි කණ්ඩායම හා එක් වෙන්නේ.

පාකිස්තාන තරග සංචාරයේ දී එතරම් ම දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූව ද ඔහු කොදෙව්වන්ට එරෙහිව පැවැති යොවුන් එක්දින තරගාවලියේ දී සේ ම ටෙස්ට් තරගාවලියේ දී ද දක්ෂතා අතර සිටිමින් කණ්ඩායමට කැපී පෙණෙන මෙහෙවරක් කළා.

විහස්, පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී පළමු කාණ්ඩයේ Tier B කොටසේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගැනීමට ද සමත් වෙනවා.

විශ්ව ලහිරු

  • ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර
  • දකුණත් පිතිකරු | වමතින් දඟ පන්දු යවයි.

මීට පෙර පැවැති තරග සංචාරයන් කිහිපයක දී ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව ඇති විහස් වඩාත් දක්ෂතා ඇත්තේ එක්දින තරගවලදීයි.

විශ්ව, නිමා වූ පාසල් ක්‍රිකට් වර්ණ ප්‍රදානෝත්සවයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සම්මානයට පත් වූ ක්‍රීඩකයායි.

ගරුක සංකෙත්

  • ලයිසියම් ජාත්‍යන්තර පාසල, පානදුර
  • වමත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගී වූ ආසන්නත ම තරගාවලි ත්‍රිත්වයේ අසුන් හිමිකර ගත් ගරුක කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නා ලෙසින් කටයුතු කරනවා. මෑත කාලීන ඔහුගේ දක්ෂතා අතර රැදී තිබෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැති බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති එක්දින තරගාවලියේ දී ලකුණු 48කට කඩුලු 5ක් දවා ගැනීමයි.

දුවිඳු රණතුංග

  • මහානාම විද්‍යාලය, කොළඹ
  • දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

දුවිඳු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ එම කණ්ඩායමේ ආසන්නත ම තරගාවලි 2කකට පසුවයි. ඔහු ඊට පෙර එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරග සංචාරයන් හී දී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වෙමින් තම තුන් ඉරියව් දක්ෂතා කණ්ඩායම වෙත ලබා දී තිබෙනවා.

හිරුන් කපුරුබණ්ඩාර

  • සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ
  • දකුණත් පිතිකරු | කඩුලු රකින්නා.

හිරුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ ඔවුන් සහභාගී වූ තරගාවලි 2කට පසුවයි. ආසන්න ව නිමා වූ පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා එක් විමට හිරුන්ට අවස්ථාවක් නොමැති වූවත් නැවත මාස 9කට පසුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වීමට ඔහු සමත් වෙනවා. ඔහු අවසන් වරට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ මේ වසරේ මාර්තු මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති තුන්කොන් තරගාවලිය සඳහායි.

විශේන් හැළඹගේ

  • සාන්ත පීතර විද්‍යාලය, බම්බලපිටිය
  • දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මීට පෙර සහභාගී වූ පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය තරග සංචාරයන්වලට ද විශේන් හැළඹගේ සහභාගී වී තිබෙනවා.

රුවිශාන් පෙරේරා

  • ආනන්ද විද්‍යාලය, කොළඹ
  • දකුණත් පිතිකරු | දකුණතින් මඳ වේග පන්දු යවයි.

රුවිශාන් මීට පෙර පැවැති පාකිස්තාන සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාරවල දී ද ශ්‍රී ලංකා යොවුන් කණඩායම නියෝජනය කළ අතර කණ්ඩායම හා එක් වෙන්නේ පන්දු යවන්නෙක් ලෙසයි.

දිනුක තෙන්නකෝන්

  • ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • දකුණත් පිතිකරු | වමතින් පා දඟ පන්දු යවයි.

2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier A කාණ්ඩයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබූ දිනුක, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක් වෙන්නේ පළමු වරටයි.

  • අතිරේක ක්‍රීඩකයන්

සුපුන් වඩුගේ

  • ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  • වමත් පිතිකරු – දකුණතින් පිට දඟ පන්දු යවයි.

මීට පෙර මෙරට දී පැවැති බටහිර ඉන්දීය කොදෙව් යොවුන් එක්දින තරගාවලිය සඳහා එක් වූ සුපුන් වඩුගේ මෙවර තරගාවලියට නම් කෙරෙන්නේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසයි.

ජනිත් ප්‍රනාන්දු

  • ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
  • වමත් පිතිකරු වමතින් මඳ වේග පන්දු යවයි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ජනිත් පෙරේරා මෙම සංචාරයේ අතිරේක ක්‍රීඩක ලැයිස්තුවට එක් වූ අනෙක් ක්‍රීඩකයායි.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට Thepapare.com හී උණුසුම් සුබ පැතුම්!

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<