Warnerට දුක්බර සමුගැනීමක් උරුම කරනා බව Shaheen Afridi පවසයි

Pakistan tour of Australia 2023/24

8304
Pakistan tour of Australia 2023/24

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන දෙසැම්බර් 14 දින සිට ආරම්භ වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශුරතාවයේ නව තරග සමයට අදාළ ව පැවැත්වෙන මෙම තරගාවලිය දෙපිළට ම අතිශය තීරණාත්මක එකක් වනු ඇති.

එමෙන්ම ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද මෙය වනු ඇති බවට ඔහු විසින් මීට පෙර ඉඟි පළ කළා. පසුගිය කාල වකවානුවේ ටෙස්ට් පිතිකරණයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් නොවූ Warner මෙවර තරගාවලියේ කෙසේ දස්කම් දක්වාවි ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

මේ මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දක්වන පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen shah Afridi පවසන්නේ ඔහු කෙතරම් හොඳ ක්‍රීඩා ජීවිතයක් ගෙවා දැමුව ද එහි අවසානය හොඳ මතකයක් නොවනු ඇති බවයි.

” අපි ඔහුට සුබ පතනවා, නමුත් අපිට එරෙහිව Warnerගේ අවසන් ටෙස්ට් තරගාවලියේ දී ඔහුට එතරම් හොඳ අවසානයක් බලාපොරොත්තු වෙන්නේ නම් නැහැ.”

ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතය අද (03) දිනයේ ප්‍රකාශයට පත් කළ අතර එයට Warnerගේ නම ද ඇතුළත් වී තිබුණා. නමුත් ඉතිරි තරග දෙක වෙනුවෙන් Warnerට සංචිතයේ ඉඩක් වෙන් වේවි ද යන්න තවමත් ස්ථිරව ම පැවසිය නොහැකියි.

විශේෂයෙන්ම Shaheenගේ ඉහත ප්‍රකාශයෙන් පිළිබිඹු වන සේ ම මෙම තරගාවලිය දෙපිළට ම අතිශය තීරණාත්මක එකක් වන නිසා තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කණ්ඩායම් සිය උපරිම ශක්තිය ලබා දෙනු ඇති.

පාකිස්තානය විසින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයත් සමඟින් 2023 – 2025 ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා. එමෙන්ම අළුබඳුන තරගාවලියේ 2-2ක් ලෙස සම මට්ටමින් අවසන් කර ගැනීමෙන් පසුව ඕස්ට්‍රේලියාව මෙම ලකුණු සටහනේ සිව් වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

” මේ වන විට අපි ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ ඉන්න නිසා මේක අපිට වැදගත් තරගාවලියක්.”

එමෙන්ම නම් කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ මීට පෙර ද ක්‍රීඩා කර ඇති නිසා තමන් මෙම අභියෝගයට හොඳින් සූදානම් බවයි Afridi වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරගය ද (දෙසැම්බර් 06 වැනි දා පටන්) තමන්ට අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් බවයි Shaheen Shah Afridi විසින් සඳහන් කරන්නේ.

පුරා මසකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ජය හිමි වන්නේ Warnerගේ ඕස්ට්‍රේලියාවට ද, නැතහොත් Shaheenගේ පාකිස්තානයට ද යන වග පිළිබඳ ව ඔබ දැනුවත් කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<