Suryakumar සහ Nitishට දඩ; Shokeenට තරවටු කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

407

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kolkata Knight Riders සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරගයේ දී Mumbai ක්‍රීඩක Suryakumar Yadav සහ Kolkata ක්‍රීඩක Nitish Ranaට දඩ පැනවීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

එමෙන්ම Mumbai Indians නියෝජනය කරන Hrithik Shokeen හට ද අවවාද කිරීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

Hrithik Shokeen සහ Kolkata නායක Nitish Rana ඊයේ පැවති තරගයේ දී උණුසුම් වචන හුවමාරුවක් සිදු කරනු දැක ගැනීමට හැකි වූ අතර එම නිසා ඔවුන් දෙදෙනා තරගාවලි ආචාරධර්ම පද්ධතියේ 22 වැනි වගන්තිය උල්ලංඝනය කළ බව සඳහන් වනවා.

එම සිදුවීම නිසා  Rana හට සිය තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පැනවීමට තීරණය කර තිබෙන අතර ආචාරධර්ම පද්ධතියේ 2.21ක වගන්තිය යටතේ ඔහුට එම දඬුවම හිමිවෙනවා.

Hrithik Shokeen පළමු කාණ්ඩයේ වරදක් සිදු කළ බව සලකා 2.5 වගන්තිය යටතේ අවවාද කර ඇති අතර ඔහු සම්බන්ධයෙන් තරග තීරකවරයා ගන්නා තීරණය අවසන් තීරණය වනු ඇත.

එමෙන්ම එම තරගයේ Mumbai Indians කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළ Suryakumar Yadav නියමිත කාලසීමාව තුළ පන්දුවාර යවා අවසන් නොකිරීම (අඩු පන්දුවාර වේගය) නිසා ඔහුට ලක්ෂ 12ක දඩයක් පනවා තිබෙනවා.

මෙවර තරගාවලියේ වේගවත්ම ශතකය වාර්තා කරමින් Venkatesh Iyer ලබා ගත් ඉනිම නිසා Kolkata ක්‍රීඩකයින් ලබා දුන් ලකුණු 186ක ඉලක්කය Ishan Kishan (58) සහ Suryakumar Yadav (43*) වාර්තා කළ ඉනිම් නිසා පන්දුවාර 17.4ක් තුළ හඹා යමින් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට Mumbai Indians ක්‍රීඩකයින්ට හැකි වුනා.

“අපි විවේකාගරයේ දී කණ්ඩායම සමඟ කතා කළේ අන්තිම තරගයේ රිද්මය ඒ විදියටම පවත්වා ගන්නයි. ක්‍රීඩකයින් ඒක ඒ විදියටම පෙන්නුම් කළා. මම ගොඩක් කැමති ඉනිම් අවසන් කරන්න, මම සතුටු වෙනවා මගේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරපු විදිය ගැන,” යැයි Suryakumar ප්‍රකාශ කළා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීව ලෙස ඔබ වෙත ThePapare.com ඔස්සේ නැරඹිය හැකි. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<