සිම්බාබ්වේ පිතිකරුවෙකුගෙන් දුර්ලභ වාර්තාවක්

572
2N2WRM3 Zimbabwe batsman Garry Ballance celebrates after scoring 100 runs on the fourth day of the Test cricket match between Zimbabwe and West Indies at Queens Sports Club in Bulawayo, Zimbabwe,Tuesday,Feb, 7, 2023. (AP Photo/Tsvangirayi Mukwazhi)

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පසුගිය දා පැවති ටෙස්ට් තරගයේ දී අගනා ශතකයක් රැස් කිරීමට හිටපු එංගලන්ත සහ වත්මන් සිම්බාබ්වේ ක්‍රීඩක Gary Ballanceට හැකි වුනා.

එය ඔහු සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ පළමු ජාත්‍යන්තර තරගය වූ අතර ඔහු එම තරගයේ දී නොදැවී ලබා ගත් ලකුණු 137 සමඟ රටවල් දෙකක් සඳහා (අදාළ රටට ක්‍රීඩා කරමින්) ටෙස්ට් ශතක ලබා ගත් දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක් වුනා.

මෙතෙක් ටෙස්ට් ඉතිහාසයේ එම දස්කම පා ඇත්තේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ටෙස්ට් ශතක ලබා ගත් Kepler Wessels විසිනුයි.

Ballance එංගලන්තය නියෝජනය කරමින් 2014 -2017 කාලසීමාවේ ටෙස්ට් තරග 23ක් ක්‍රීඩා කරමින් ලකුණු 37.45ක පිතිකරණ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වූ අතර ඔහු එංගලන්තය වෙනුවෙන් තෙවනුවට වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 රැස් කළ ක්‍රීඩකයා වීම ද විශේෂත්වයක්.

නමුත් 2017 වසරේ සිට ඔහුට එංගලන්ත සංචිතයේ ස්ථානය අහිමි වූ අතර එම නිසා ඔහු වසර කිහිපයක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි නිසා ඔහුගේ මව් රට වූ සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

ඔහු යොවුන් වියේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ අතර ඔහු 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී නිල වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරන බව දැනුම් දුන්නා.

“සිම්බාබ්වේ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබීම මට ක්‍රීඩාව සඳහා නව ආශ්වාදයක් සහ උද්‍යෝගයක් ලබා දුන්නා. මම වසර ගණනාවක් තිස්සේ සිම්බාබ්වේ ක්‍රිකට්වලට සම්බන්ධ පුද්ගලයින් සමඟ සමීපව සිටියා, ඔවුන්ගේ මේ ප්‍රගතිය දකින්න ලැබීම විශාල සතුටක්,” යැයි Ballance ප්‍රකාශ කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක් වීමෙන් පසුව ඔහු කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පූර්ණ තරගාවලිය සඳහා නම් කළ සිම්බාබ්වේ කණ්ඩායමට කැඳවා තිබුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ සිම්බාබ්වේ ක්‍රීඩකයින් තරමක අසරණ තත්වයකට වැටී තිබූ මොහොතේ පිටියට එක් වූ Ballance අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 137ක් ලබා ගෙන සිය කණ්ඩායම පරාජයකින් ගලවා ගැනීමට සමත් වුනා.

ඔහුගේ එම ඉනිමත් සමඟ සිම්බාබ්වේ ක්‍රීඩකයින් එම ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නට සමත් වුනා.

ICC වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<