දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට

19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය 2023

600

දකුණු අප්‍රිකාවේ දී පැවති පළමු වයස අවුරුදු 19න් පහළ බාලිකා විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාව ශූරතාවය දිනා ගැනීමෙන් අවසන් වූ අතර තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් යොදා ගනිමින් සැකසූ තරගාවලියේ කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංඟා ඇතුළත්ව තිබෙනවා.

තරගාවලිය තුළ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වූ දෙව්මි ආරම්භක තරගයේ දී ඇමරිකාවට එරෙහිව ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් තරගාවලිය ආරම්භ කළා.

බංග්ලාදේශයට එරෙහි තරගයේ දී පිතිකරණයෙන් සිය දස්කම් පෙන්නුම් කළ දෙව්මි අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී ලකුණු 22කට කඩුලු දෙකක් සහ පිතිකරණයෙන් ලකුණු 37ක් ලබා ගනිමින් ඉහළ දස්කම් දැක්වුවා.

අවසන් පන්දුව තෙක් ඇදී ගිය එම තරගය ශ්‍රී ලංකාව එක් ලකුණකින් පරාජයට පත් වූවත් තරගය පුරාවට දෙව්මි දැක්වූ දස්කම් කැපී පෙනුණා.

දෙව්මිට අමතර මෙම කණ්ඩායම සඳහා ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 4 දෙනෙක්, එංගලන්තය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 3 දෙනෙක් සහ බංග්ලාදේශය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින් තේරී පත්ව තිබෙනවා.

සංචිතය: Grace Scrivens – නායිකාව (එංගලන්තය), Shweta Sehrawat (ඉන්දියාව), Shafali Verma (ඉන්දියාව), Georgia Plimmer (නවසීලන්තය), Shorna Akter (බංග්ලාදේශය), Karabo Meso – කඩුලු රකින්නිය (දකුණු අප්‍රිකාව), Parshavi Chopra (ඉන්දියාව), Hannah Baker (එංගලන්තය), Ellie Anderson (එංගලන්තය), Maggie Clark (ඕස්ට්‍රේලියාව), Anosha Nasir – දොළොස්වැනි ක්‍රීඩිකාව (පාකිස්තානය)

ICC ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<