Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ

1073

පාකිස්තාන කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi සහ හිටපු සුපිරි ක්‍රීඩක Shahid Afridiගේ දියණිය වන Ansha ඊයේ (03) දිනයේ දී විවාහ වූ බව පාකිස්තාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.

ඔවුන් දෙදෙනාගේ මෙහෙන්දි උළෙල බ්‍රහස්පතින්දා පවත්වා ඇති අතර ඔහුගේ විවාහ උත්සවය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

Shaheen මෙම වසරේ දී විවාහ වූ තෙවැනි පාකිස්තාන ක්‍රීඩකයා වන අතර ඔහුට පෙර Haris Rauf සහ Shadab Khanගේ විවාහ උත්සව පැවැත්වුණා.

මෙම විවාහ උත්සවය සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන Shadab Khan, Babar Azam, Sarfaraz Ahmed, Naseem Shah සහ හිටපු ක්‍රීඩක Mohammad Hafeez සහභාගී ව තිබුණා.

2018 වසරේ දී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් ලැබූ Shaheen ටෙස්ට් තරග 25ක්, එක්දින තරග 32ක් සහ විස්සයි විස්ස තරග 47ක් නියෝජනය කරමින් ටෙස්ට් කඩුලු 99ක්, එක්දින කඩුලු 62ක් සහ විස්සයි විස්ස කඩුලු 58ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

පසුගිය කාලසීමාවේ තරමක ආබාධ තත්වයක පසු වූ Shaheen මෙම මාසය මුල දී වෛද්‍ය කණ්ඩායම සමඟ නැවතත් සිය පුනරුත්තාපන (සුව වීමේ) වැඩසටහන ආරම්භ කළ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ආබාධයට ලක් වූ ඔහුට ආසියානු කුසලානය ද අහිමි වූ අතර ඔහුගේ ආබාධය වැරදි ලෙස කළමනාකරණය කරනවා යනුවෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා ද එල්ල වුනා.

නමුත් ලෝක කුසලාන තරගාවලියේ දී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණෙමින් දස්කම් දක්වා සිය කණ්ඩායම අවසන් මහා තරගයට ගෙන යාමට Shaheenට හැකි වූවත්, එංගලන්තය සමඟ පැවති අවසන් තරගයේ දී තරගය අවසන් වීමට පෙර නැවතත් ඇති වූ ආබාධයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ඔහුට සිදු වුනා.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<