රත්නාවලී බාලිකා විද්‍යාලය පාසල් ක්‍රිකට් ශූරියන් වෙයි

19න් පහළ බාලිකා පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1872

2021/22 වයස අවුරුදු 19න් පහළ බාලිකා අන්තර් පාසල් ක්‍රිකට් ශූරතාවය දිනාගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අද  (2) සමත් වුනා. කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මේ අවසන් මහා තරගයේ දී අනුශූරතාවය සඳහා හිමිකම් කියනු ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයයි.

2021/22 වයස අවුරුදු 19න් පහළ බාලිකා අන්තර් පාසල් ක්‍රිකට් ශූරතාවය දිනාගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අද  (2) සමත් වුනා. කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මේ අවසන් මහා තරගයේ දී අනුශූරතාවය සඳහා හිමිකම් කියනු ලැබුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයයි.

මෙහි අවසන් පූර්ව තරග දෙක පසුගිය (30) වැනිදා පැවති අතර එහිදී අනුලා විද්‍යාලය විසින් ගියවර ශූරතාවය දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලකුණු 8කින්ද, රත්නාවලී විද්‍යාලය විසින් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 58කින් ද පරාජය කරමින් මේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගත්තා.

කාසියේ වාසිය දිනාගත් රත්නාවලී බාලිකා විද්‍යාලයේ නායිකා 16 හැවිරිදි විශ්මි ගුණරත්න පළමුව පන්දුවට පහරදීම සඳහා තීරණය කළා. එහිදී රත්නාවලී කණ්ඩායම නියමිත පන්දුවාර 30 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගත්තේ විශ්මි ලබාගත් ශතකයද සවියක් කරගෙනයි.

මේ තීරණාත්මක අවසන් මහා තරගයේ දී කැපී පෙනෙන පිතිකරණයක නිරත වුනු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන විශ්මි පන්දු 92ක් තුල නොදැවී ලකුණු 125*ක් ලබාගත්තා. ආරම්භක පිතිකරිණිය ලෙස පිටියට පිවිසි ඇය ඉනිම අවසන් වෙන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින්  4 පහර 15ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් එම ශතකය වාර්තා කරගත් අතර එය ඇය විසින් මෙවර තරගාවලිය තුල වාර්තා කරගත් තෙවන ශතකයයි. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ඉමල්ෂි යසාරා ලකුණු 43කට කඩුලු 2ක් දවාගත්තා.

පිළිතුරැ ඉනිම දියත් කළ අනුලා විද්‍යාල ඉනිම ලකුණු 133කට සීමා වුනු අතර අනුලා කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේ දී පන්දු යැවීමෙන් ද දස්කම් දැක්වූ ඉමල්ෂි පිතිකරණයෙන් ද ලකුණු 33ක් ලබාගෙන කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වුණා. රත්නාවලී ක්‍රීඩිකාවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩි දස්කම් දැක්වූ වමතින් දඟපන්දු යවන විදූෂිකා පෙරේරා ලකුණු 30කට කඩුලු 3ක් දවාගත්තා.

ගෙවුණු තරගාවලි දෙකේදීම ශූරතාවය දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලයට මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයෙන් සැහීමකට පත්වීමට හැකියාව ලැබුනා. ඒ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේ දී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 54ක ජයක් ලබාගත් නිසයි. එහිදී දේවපතිරාජ නායිකා ඉමේෂා දුලානි අර්ධ ශතකයක් සහ කඩුල්ලක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වුණා.

ලකුණු සාරාංශයන්,

රත්නාවලී බාලිකා විද්‍යාලය – 199/5 (30): විශ්මි ගුණරත්න 125*, සඳලි වීරසිංහ 31, ඉමල්ෂි යසාරා 2/43.

අනුලා විද්‍යාලය – 133/9 (29.3) ඉමල්ෂි යසාරා 33, කෞශානි නුත්‍යංගනා 27, විදූෂිකා පෙරේරා 3/30, නිපුනි නවෝද්‍යා 2/20

රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 66ක ජයක්


තෙවන ස්ථානය සඳහා පැවති තරගය,

දේවපතිරාජ විද්‍යාලය – 129/9 (20): ඉමේෂා දුලානි 54, කාව්‍යා කාවින්දි 35, නෙත්මි පූර්ණා 3/16, නවෝද්‍යා නෙත්මිණි 3/21

වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය – 75 (19.5): නවෝද්‍යා නෙත්මිණි 19, රශ්මි නේත්‍රාන්ජලි 2/13, ස්වප්නා මදුභාශිනි 2/13, හිරුනු හංසිකා 2/04.

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 54ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<