ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට දින තීන්දුයි

ටෙස්ට් ලෝක ශූරතාවය 2021/23

310

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය ජුනි 07 වැනිදා සිට 11 වැනිදා දක්වා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළා.

එම අවසන් තරගය සඳහා අතිරේක දිනයක් ද ඇතුළත් අතර ඒ අනුව තරගයේ අතිරේක දිනය ලෙස ජුනි 12 වැනිදා වෙන් කර තිබෙනවා.

මෙම තරගය මැයි 28 පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සහ ජුනි 16 වැනිදා ආරම්භ වීමට අළුබඳුන තරගාවලිය අතරමැද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළ තවත් ටෙස්ට් තරගාවලි තුනක් පැවැත්වීමට ඉතිරිව ඇති අතර ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත බෝඩර් ගවස්කාර් කුසලානය, ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය එම තරගාවලි වනවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කරන කණ්ඩායම් තවමත් තේරී පත්ව නොමැති අතර ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවසන් ස්ථාන සඳහා සටන් වදිමින් සිටිනවා.

ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ආසන්නතම කණ්ඩායම ලෙස හැඳින්විය හැකි අතර ඔවුන්ට ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියේ එක් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම සහ ප්‍රසාද ලකුණු අඩු කර ගැනීමක් සිදු නොවුනහොත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.

නමුත් ඔවුන් තරගාවලියේ සියලු තරග පරාජයට පත් වුවහොත් අනෙක් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල දෙස බලා සිටීමට සිදු වෙනවා.

ඉන්දීය කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට නම් එම තරගාවලිය 3-1ක් හෝ ඊට වැඩි ප්‍රතිඵලයකින් ජයග්‍රහණය කිරීමට සිදු වන අතර ඔවුන්ට එම ප්‍රතිඵලය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ සුදුසුකම ද අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල මත රඳා පවතිනවා.

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අවසන් මහා තරගයේ ස්ථානයක් ලබා ගැනීමට අනෙක් තරග සියල්ල ජයග්‍රහණය කිරීම සහ අනෙක් කණ්ඩායම්වල තරග ප්‍රතිඵල ඉතා වැදගත් වනවා.

ටෙස්ට් ලෝක ශූරතාවයේ මීළඟ අදියර දෙක සඳහා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ ඕවල් (2021-23) සහ ලෝඩ්ස් (2025) ක්‍රීඩාංගණ දරන බව පසුගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කළා.

පළමු ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයෙන් ඉන්දියාව පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කිරීමට නවසීලන්තයට හැකි වූ අතර එම තරගයේ සිව්වැනි දිනයේ ඇති වූ වර්ෂාව නිසා තරගයේ ප්‍රතිඵලය ලබා ගැනීමට අමතර දිනයේ දී ක්‍රීඩා කිරීමට සිදු වුනා.

2021/23 ටෙස්ට් ලෝක ශූරතාවයේ ඉතිරි තරග,

  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – පෙබරවාරි 09 සිට 13 දක්වා
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – පෙබරවාරි 17 සිට 21 දක්වා
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – මාර්තු 01 සිට 05 දක්වා
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව – මාර්තු 09 සිට 13 දක්වා
  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් – පෙබරවාරි 28 සිට මාර්තු 04 දක්වා
  • දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් – මාර්තු 09 සිට මාර්තු 13 දක්වා
  • නවසීලන්තය සහ ශ්‍රී ලංකාව – මාර්තු 09 සිට 13 දක්වා
  • නවසීලන්තය සහ ශ්‍රී ලංකාව – මාර්තු 17 සිට 21 දක්වා

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<