ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී

ආසියානු කුසලානය එක්දින තරගාවලිය 2023

268

මෙම වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව තීරණය කිරීම ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් කල් දමා තිබෙනවා.

බහරේන් හී පැවති සැසිවාරයක දී ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව එය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇති අතර සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී ගැනීමට නියමිත බව වාර්තා වනවා.

සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත්, ඉන්දියාව පාකිස්තානයට නොයන බව ප්‍රකාශ කිරීමත් සමඟ සත්කාරකත්වය පිළිබඳව ගැටලුවක් ඇති වුනා.

ඉන්දීය සහ පාකිස්තාන ගැටලු ආසියානු ක්‍රිකට් කවුන්සිලයට අදාළ කර නොගැනීම සාමාන්‍ය මතය වූවත්, මෙම ගැටලුව නිසා සාමාජිකයින්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානය ද 2023 ලෝක කුසලානය වර්ජනය කරන බව ප්‍රකාශ කළා.

ඒ අනුව ඉන්දියාව මෙම තරගාවලියට සහභාගී වීමට නම් තරගාවලිය පාකිස්තානයෙන් පිටතට රැගෙන යා යුතු අතර පාකිස්තානය සත්කාරකත්වය දැරීම සමඟ තරගාවලිය වෙනත් මධ්‍යස්ථ ස්ථානයක පැවැත්වීම එයට ඇති විසඳුමයි.

පසුගිය වසරේ ආසියානු කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව සතු වූවත් ශ්‍රී ලංකාව තුළ පැවති අයහපත් වාතාවරණය නිසා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

“2023 ආසියානු කුසලානය ගැන ඵලදායී සාකච්ඡාවක් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පැවැත්වුවා. තරගාවලිය සාර්ථකව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයුම්, කාලසීමාව සහ අනෙක් සියලු දේ ගැන නිලධාරීන් අවධානය යොමු කළා. මෙම ගැටලුව පිළිබඳ තීරණයක් මාර්තු මාසයේ පැවැත්වෙන කමිටු රැස්වීමේ දී ගන්නවා,” යැයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<