ක්‍රීඩකයින් දෙදෙනෙක් BBL කෙටුම්පත්කරණයෙන් ඉවත් වෙයි

2008

පාකිස්තාන ක්‍රීඩක Mohammad Rizwan සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Nicholas Pooran මෙවර Big Bash League ක්‍රීඩක කෙටුම්පත්කරණයෙන් අවසන් මොහොතේ ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ කාන්තා අදියර සඳහා සහභාගී වීමට සූදානමින් සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Dane van Niekerk ද අතේ ඇති වූ ආබාධයක් නිසා මෙවර තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

Platinum කාණ්ඩය යටතේ ක්‍රීඩක කෙටුම්පත්කරණය සඳහා ඔවුන් දෙදෙනා ඉදිරිපත්ව තිබූ අතර කොදෙව් ජාතික කණ්ඩායමේ එංගලන්ත සංචාරය නිසා Nicholas Pooran තරගාවලියෙන් ඉවත් වෙද්දී, ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නිසා Mohammad Rizwanට තරගාවලිය අහිමි වෙනවා.

පසුගිය වසරේ කාන්තා බිග් බෑෂ් තරගාවලිය ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකා ක්‍රීඩිකා Dane van Niekerk මීට පෙර Melbourne Renegades, Sydney Sixers සහ Adelaide Strikers කණ්ඩායම් නියෝජනය කළ අතර ඇයගේ අතේ ඇති වූ අස්ථි බිඳීමක් නිසා ඇයට මෙවර තරගාවලිය ක්‍රීඩා කිරීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ.

තරග වාර හයක් Adelaide Strikers සමඟ ක්‍රීඩා කිරීමෙන් පසුව වේගපන්දු යවන ක්‍රීඩක Peter Siddle නැවතත් සිය අතීත කණ්ඩායම වූ Melbourne Renegades සමඟ එක්ව තිබෙනවා.

39 වැනි වියේ පසු වන Siddle කණ්ඩායමට එක් වීමත් සමඟ තරගාවලියේ වයසින් වැඩිම ක්‍රීඩකයින් ක්‍රීඩා කරන කණ්ඩායම බවට Melbourne Renegades පත් වන අතර එම කණ්ඩායම Nathan Lyon (35), Shaun Marsh (40), Aaron Finch (36) සහ Jon Wells (35) ක්‍රීඩකයින් නියෝජනය කරනවා.

ඒ අනුව එම කණ්ඩායමට අවුරුදු 35ට වැඩි ක්‍රීඩකයින් පස් දෙනෙකු ක්‍රීඩා කරන අතර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කණ්ඩායමට ඉතා වැදගත් බව කණ්ඩායම් කළමනාකරු James Rosengarten ප්‍රකාශ කළා.

2023 බිග් බෑෂ් තරගාවලිය දෙසැම්බර් 07 වැනිදා සිට ජනවාරි 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එහි ක්‍රීඩක කෙටුම්පත්කරණය සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් තරග පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<