ලහිරු සහ කුසල් අර්ධ ශතක වාර්තා කරයි

Sri Lanka tour of Pakistan 2026

1
Sri Lanka tour of Pakistan 2026

පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තුන් දින තරගයේ පළමු දිනය (4) නිමා වෙද්දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 43ක් ලබා සිටියා.

ඒ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 223ට පිළිතුරු ලෙසයි.

>>කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්

Islamabad නුවර Islamabad Club Cricket Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ නායක කුසල් මෙන්ඩිස් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

ලහිරු උදාර පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.

ඊට අමතර ව ඉනිම අත්හිටුවන විට අංජල බණ්ඩාර පන්දු 61කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.

පන්දුවට පහර දීමට පිටියට පිවිසි අනෙකුත් පිතිකරුවන් අතුරින් ධනංජය ද සිල්වා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ද, සොනාල් දිනූෂ පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ද, පසිඳු සූරියබණ්ඩාර පන්දු 28කට මුහුණ දෙමින් ලකුණු 8ක් ද සහ කේසර නුවන්ත පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 8ක් ද ලබා සිටියා.

ඊට අමතර ව පිටියට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ මිලාන් රත්නායකට ලකුණු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Saqib Khan, Mohammad Salman සහ Ali Shabbir කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Ubaid Shah කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ මේ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටින Azan Awais. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ලබා සිටිනවා. ඊට අමතර ව Mohammad Taha පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද ලබා සිටිනවා.

කඩුලු දවා ගවා ගැනීමේ දී මිලාන් රත්නායක ලකුණු 9කට කඩුල්ලක් ද සහ ඩිල්ශාන් මදුශංක ලකුණු 12කට කඩුල්ලක් ද බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (58.0)ලහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, Saqib Khan 2/28, Mohammad Salman 2/52, Ali Shabbir 2/28
  • පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 43 (15.0) Azan Awaisනොදැවී 19, Mohammad Taha නොදැවී 16

මෙම තරගය හෙට (5) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන ක්‍රිකට් සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<