ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයක් ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2023

217

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා දස්කම් සපුරාලීමින් සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සමත්ව තිබෙනවා.

ක්‍රීඩකයින් සිව්දෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් මෙලෙස ආසියානු යොවුන් ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඊයේ (21) සහ අද (22) දියගම දී පැවති ජාතික යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී දැක්වූ දස්කම් මත ඔවුන් මෙම සුදුසුකම් සපුරා තිබෙනවා.

ඊයේ (21) පැවති පිරිමි උස පැනීම ඉසව්ව මීටර් 2.00ක දස්කමක් සමඟ ජයග්‍රහණය කළ ජී. එල්. අර්ථවිදු දෙවැනි වරටත් ආසියානු යොවුන් ශූරතාවක් සඳහා සුදුසුකම් ලබා ගත් අතර එම ඉසව්ව නියෝජනය කළ නිළුපුල් පෙහෙසර ද තරගාවලියට සුදුසුකම් ලැබුවේ මීටර් 2.00ක දස්කමක් දක්වමිනුයි.

පිරිමි මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ අයෝමාල් අකලංක තත්පර 52.87ක දස්කමක් දක්වමින් ආසියානු සුදුසුකම් සපුරාලීමට සමත් වුනා.

බාලක රිටි පැනීමේ ඉසව්ව නියෝජනය කළ මලින්දරත්න සිල්වා ආසියානු යොවුන් ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ මීටර් 4.65ක දස්කමක් සමඟිනුයි.

එමෙන්ම අද පැවති බාලිකා මීටර් 1500 ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත් කසුනි නිර්මලී (මිනිත්තු 4:47.89) සහ දුලංජනා ප්‍රදීපනී ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලැබුවා.

මෙලෙස සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කසුනි නිර්මලී සහ ලෙසඳු අර්ථවිදු පසුගිය වසරේ පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයක්.

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය අප්‍රේල් 27 වැනිදා සිට 30 වැනිදා දක්වා Uzbekistan දී පැවැත්වීමට නියමිතයි.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<