කසුනි නිර්මාලි මීටර් 800 බාලිකා ආධිපත්‍ය රඳවා ගනී

යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2023

233

2023 ජාතික මලල ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු ආරම්භ කරමින් ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරග අද (21) ආරම්භ වුනා.

අද (21) සහ හෙට (22) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු තේරිම් තරගාවලිය ලෙසයි.

පසුගිය යොවුන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ක්‍රීඩිකා කසුනි නිර්මාලි සුපුරුදු දස්කම් දක්වමින් බාලිකා මීටර් 800 (මිනිත්තු 2:15.80) ජය ගනිද්දී, එහි බාලක ඉසව්වේ ජයග්‍රහණය හිමිකර ගැනීමට පී. දහන්සේකරට (මිනිත්තු 2:00.21) හැකි වුනා.

දිනය ආරම්භ කරමින් පැවති බාලක සහ බාලිකා මීටර් 3000 ඉසව් ජයග්‍රහණය කිරීමට දිගන හින්දු විද්‍යාලයේ එච්. අභිනේෂ් සහ එන්. අභිනයාට හැකි වුනේ පිළිවෙළින් මිනිත්තු 9:34.97ක් සහ 11:49.85ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

බාලක මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 52.18ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට යොමාල් අකලංකට හැකි වූ අතර බාලක උස පැනීම ඉසව්ව සුපුරුදු පරිදි ජයග්‍රහණය කළේ ජී. එල්. අර්ථවිදු විසිනුයි.

දිනයේ පැවති වේගවත්ම ඉසව් වූ බාලිකා මීටර් 100 කඩුලු පැනීමේ තරගය තත්පර 15.61ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය හිමිකර ගැනීමට නෙහංසා පරණලියනගේට හැකි වූ අතර මීටර් 110 බාලක ඉසව්ව සදිල රශ්මික විසින් ජයග්‍රහණය කළේ තත්පර 14.68ක කාලයකිනුයි.

>> දිනයේ සමස්ත තරග ප්‍රතිඵල <<

 ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවැනි සහ අවසන් දින තරග හෙට (22) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<