වාර්තා දෙකක් සමඟ කනිෂ්ඨ ජෝන් ටාබට් ඇරඹෙයි

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

324

වසර කිහිපයක නිහැඬියාවකින් පසුව පැවැත්වෙන පාසල් කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම තරගාවලියක් වන ශ්‍රීමත් ජෝන් ටාබට් තරගාවලියේ 51 වැනි කනිෂ්ඨ අදියර අද (28) ආරම්භ වුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ කලාප තරග පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී අදියර කිහිපයක් යටතේ පැවැත්වීමෙන් අනතුරුව අවසන් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන තිබුණා.

මූලික තරගවලට වැඩි කාලසීමාවක් වෙන් වූ පළමු දිනයේ දී නව තරගාවලි වාර්තා දෙකක් බිඳ වැටුණා.

තරගාවලියේ පළමු වාර්තාව බිඳ හෙලුවේ වයස අවුරුදු 12න් පහළ මීටර් 80 ඉසව්වට සහභාගී වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එස්. ඩී. හෙට්ටිආරච්චි විසිනුයි. එම ඉසව්ව තත්පර 10.1ක කැපී පෙනෙන කාලයකින් අවසන් කරමින් ඔහු එම වාර්තාව තමන් සතු කරගත්තා.

බාලක 15න් පහළ උස පැනීම ඉසව්වේ මීටර් 1.93ක කැපී පෙනෙන දස්කමක් වාර්තා කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස්ට හැකි වුනා.

බාලක 15න් පහළ හෙල්ල විසි කිරීම ඉසව්ව මීටර් 50.76ක දස්කමක් දක්වමින් ජය ගැනීමට පලාලි මධ්‍ය මහා විද්‍යාලයේ Rajamanokaran Elipiriyanට හැකි වූ අතර මීටර් 48.8ක දස්කමක් දැක්වූ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ ආර්. රුසිරු දෙවැනි තැන දිනා ගත්තා.

12න් පහළ බාලක දුර පැනීම ඉසව්වේ පළමු ස්ථානය මීටර් 4.96ක දස්කමක් දැක්වූ කොළඹ ගේට්වේ විද්‍යාලයේ අශේන් ජෝර්ජ් විසින් දිනා ගද්දී, 12න් පහළ බාලිකා ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ මීටර් 5.41ක දස්කමක් දැක්වූ එදිරිවීර සරත්චන්ද්‍ර විද්‍යාලයේ Vishca Nimsara හටයි.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ රිවිජ ද සිල්වා විසින් 14න් පහළ බාලක යගුලිය දැමීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 13.14ක දස්කමක් සමඟයි.

බාලිකා 15න් පහළ දුර පැනීමේ ඉසව්ව මීටර් 5.31ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ එස්. යූ. රත්නායක සමත් වෙද්දී, එම වයස කාණ්ඩයේ බාලක යගුලිය දැමීමේ ඉසව්ව එස්. තෙන්නකෝන් විසින් ජයග්‍රහණය කළේ මීටර් 10.45ක දස්කමක් දක්වමිනුයි.

14න් පහළ බාලිකා උස පැනීම ඉසව්ව මීටර් 1.40ක දස්කමක් සමඟ ජයග්‍රහණය කිරීමට කොළඹ විශාකා විද්‍යාලයේ ඒ. අබේවික්‍රම සමත් වෙද්දී, 12න් පහළ බාලිකා උස පැනීම ඉසව්ව මීටර් 1.26ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ එන්. නෙතුමිනී විසිනුයි.

>> තරගාවලියේ පළමු දිනයේ ප්‍රතිඵල <<

තරගාවලියේ දෙවැනි දිනය හෙට (29) ක්‍රියාත්මක වීමට නියමිත අතර තීරණාත්මක තරග ඉසව් කිහිපයකම අවසන් තරග හෙට පැවැත්වීමට නියමිතයි. එම තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<