ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 5 වැනි තැන දිනයි

CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානය 2023

437

2023  CAVA කාන්තා වොලිබෝල් අභියෝගතා කුසලානයේ පස්වැනි ස්ථානය සඳහා වූ තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය පස්වැන්නා ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද (27) සමත් වුනා.

ඒ, අද (27) පැවති තරගයෙන් කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් තරග වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනුයි.

තරගය ආරම්භයේ දී ම ලකුණු පුවරුව සක්‍රීය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූවත්, එක් අවස්ථාවක ලකුණු පුවරුව දිස් වුනේ 8-7ක් ලෙස දෙපිලම කරට කර තබමිනුයි. ඉන්පසු තරගයේ ආධිපත්‍ය සියතට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ප්‍රබල ප්‍රහාරය නිසා කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන්ට පසුබැසීමට සිදු වූ අතර එම වටය අවසන් වුනේ ලකුණු 25-11ක් ලෙසයි.

පරාජය වූ පළමු වටයෙන් පසු දෙවැනි අර්ධයේ පළමු ලකුණු වාර්තා කිරීමට කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන්ට හැකි වූවත්, එයට පිළිතුරු ලෙස සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

දෙපිලට ම දෝලනය වෙමින් පැවති එම වටයේ එක් අවස්ථාව ලකුණු 10-07ක් ලෙස පෙරමුණේ පසු වීමට කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් සමත් වූවත්, ඉක්මනින් නැවතත් තරගයට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

එම නැවත පැමිණීම ඉතා ප්‍රබල ලෙස පෙන්නුම් කරමින් තරග වටය 25 -20ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ තරගයේ වැඩි ආධිපත්‍ය ලබා ගනිමිනුයි.

තරගයේ තෙවැනි වටයේත් ලකුණු ලබා ගැනීම කිර්ගිස්ථාන ක්‍රීඩිකාවන් විසින් ආරම්භ කළත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම වටයේ දීත් ප්‍රබල දස්කම් දක්වමින් ලකුණු පරතරයක් තබා ගැනීමට සමත් වුනා.

එම වටයේත් ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 25-14ක් ලෙස ජයග්‍රහණය තහවුරු කරමින් තරගාවලියේ පස්වැනි ස්ථාන දිනා ගත්තා.

පළමු වටය දෙවැනි වටය තෙවැනි වටය
ශ්‍රී ලංකාව 25 25 25
කිර්ගිස්තානය 11 20 14

තරගාවලිය පුරාවට තරග පහකට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමු තරගයේ සිටම ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනත් පළමු තරග ද්විත්වය තියුණු සටනකින් පසුව පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වූවත්, අවසන් තරග තුනම ප්‍රබල දස්කම් සමඟ ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

වොලිබෝල් පිටියේ උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න<<