තරූෂ දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී නේත්‍රා දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

452

වසර කිහිපයක නිහැඬියාවකින් පසුව දින තුනක් පුරාවට අතිසාර්ථක ලෙස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් කනිශ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය අද (30) උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වුනා.

තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය ලකුණු 64ක් ලබා ගනිමින් සිය පාසලට දිනා දීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වෙද්දී, බාලිකා ශූරතාවය දිනා ගත්තේ මුළු ලකුණු 68ක් ලබා ගත් මීගමුව Ave Maria කන්‍යාරාමයයි.

තරගාවලියේ  දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ප්‍රසාද ලකුණු 853ක් ලබා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරූෂ අභිෂේක ලබද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 907ක් ලබා ගත් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නේත්‍රා සමාධි සමත් වුනා.

>>  තරගාවලියේ කුසලාන බෙදී ගිය ආකාරය  <<

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය වූ අද (30) නව තරග වාර්තා අටක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලියේ තවත් අවධානය දිනා ගත් ක්‍රීඩකයෙකු වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ එස්. ඩී. හෙට්ටිආරච්චි දෙවැනි තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් වුනේ අවුරුදු 12න් පහළ මීටර් 100 ඉසව්ව තත්පර 12.5ක කාලයකින් අවසන් කරමිනුයි.

බාලක මීටර් 70 කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අකීන් ගුණතිලක එම ඉසව්ව තත්පර 11.4ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවක් බිඳ හෙළුවා.

15න් පහළ බාලක මීටර් 4X400 ඉසව්වේ ආධිපත්‍යය පැතිර වූ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය කණ්ඩායම නව තරගාවලි වාර්තාවක් පිහිටවූයේ තරගය මිනිත්තු 3:38.8ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබූ නේත්‍රා සමාධි 15න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කළේ මීටර් 1.68ක කැපී පෙනෙන දස්කමක් සමඟිනුයි.

13න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වේ මීටර් 5.20ක දස්කමක් දක්වමින් නව වාර්තාවක් පිහිටුවීමට ඊ. ශෙහාරා සමත් වෙද්දී, බාලිකා 13න් පහළ මීටර් 70 කඩුලු පැනීම ඉසව්ව තත්පර 12.5ක කාලයකින් අවසන් කරමින් තරගාවලි වාර්තාවක් පිහිටුවීමට රංගිරි දඹුල්ල ජාතික පාසලේ ඩී. බී. බණ්ඩාර ක්‍රීඩිකාවට හැකි වුනා.

>> තරගාවලියේ සමස්ත ප්‍රතිඵල <<

අද දිනයේ වාර්තා වූ අනෙක් තරගාවලි වාර්තාව සටහන් කරමින් 14න් පහළ බාලිකා මීටර් 75 ඉසව්ව තත්පර 12.1ක කාලයකින් අවසන් කර ජයග්‍රහණය කිරීමට විහාරගල මධ්‍ය මහා විද්‍යාලයේ එම්. බී. උඩුවෙල ආරච්චිට හැකි වුනා.

ඒ අනුව පුරා දින 3ක් මුළුල්ලේ පැවති තරගාවලිය මෙසේ නිමාව දකින අතර විශිෂ්ට දස්කම් දැක්වූ සියලු දෙනාට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<