HUNDRED ක්‍රිකට්වල ඊළඟ විප්ලවය ද?

Free hit contributor – Nalin Rajakaruna

4172

එංගලන්තය ලොවට ක්‍රිකට්, පාපන්දු, රග්බි, ටෙනිස් වැනි ආකර්ශනීය ක්‍රීඩා රාශියක් හඳුන්වා දුන් රාජ්‍යයකි. එයින් ක්‍රිකට් ක්‍රීඩාවේ මුලින් ටෙස්ට් ක්‍රිකට් ද, ඉන්පසු ඕවර් 50හේ එක්දින තරග ද, මීට වසර 17ට පමණ පෙර T20 තරග ද ලොවට හඳුන්වා දීමේ දී විශාල කාර්‍යභාරයක් කළ මොවුන් ක්‍රිකට් ලොවට දායාද කරන අලුත්ම  තරග රටාව HUNDRED ලෙසින් ජූලි හා අගෝස්තු මාසවල එංගලන්තයේ දී එලි දකී.

2000 දශකයේ මුල් අවදියේ ඇරඹුණු T20 තරග ලොව ක්‍රිකට් සිතියම උඩු යටිකුරු කළ විප්ලවීය හඳුන්වා දීමක් විය. මුලින් එංගලන්තයේ ප්‍රාන්ත අතර ක්‍රීඩා කළ පසුව රටවල් අතරට ගිය 2007 පැවැත්වූ T20 ලෝක කුසලානයත් සමඟ ක්‍රිකට් ලොව ප්‍රේක්ෂකයන්    වෙලා ගත් මෙම අති උද්වේගකර තරග විලාසය එතැන් සිට ලොව ක්‍රිකට් ක්‍රීඩා කැලැන්ඩරයේ අනිවාර්‍ය අංගයක් විය. 

විශේෂයෙන්ම ටෙස්‍ට් තරග මෙන් දින 5ක් ගලා නොයෑම හා ඕවර 50හේ තරග මෙන් පැය 7ක් 8ක් පිටියේ ගත කිරීමට ප්‍රේක්ශකයන්ට සිදු නොවීම මෙන්ම එහි ඇති අති ධාවනකාරී ප්‍රවේගවත් ස්වරූපය ක්‍රිකට් ක්‍රීඩාවට කාන්තාවන් හා ළමුන් ආකර්ශණය කර ගැනීමට ඉවහල් විය. 

පැය 4ක් වැනි කාලයක් තම පවුල් සමඟ පැමිණ විනෝදවන්නට මෙම ක්‍රීඩා රටාව මනරම් තෝතැන්නක් විය. මෙම T20 තරග “ක්‍රීඩා විනෝදාත්මක ව්‍යාපාර ක්ෂේත්‍රය” (Sports Entertainment Industry) වෙත රැගෙන යෑමේ විශාල ගෞරවයක් ඉන්දියාවේ “ක්‍රිකට් මොලේ” ලෙස හඳුන්වන ඉතාමත්ම ආන්දෝලනාත්මක චරිතයක් වන ලලිත් මෝඩිට ලැබිය යුතුය. 

ඔහු විසින් ඉන්දියාවේ දේශීය ප්‍රාන්ත මුල්කරගෙන ජත්‍යන්තර ක්‍රිකට් තරු සමඟින් හඳුන්වා දුන් IPL තරගාවලිය ලොව ක්‍රිකට් වංශ කතාව සම්පූර්ණයෙන්ම අලුත් පරිච්ඡේදයකට ගෙන එනු ලැබීය. මෙම T20 තරග රටාව, ප්‍රේක්ෂකයන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද දැවැන්ත වෙනසක් ගෙන ආවේය. 

ඉන්දියාවේ හා ලොව සුපිරි  ක්‍රීඩකයන් සති හයක කාලයක පැවැත්වෙන තරග 14ක් හෝ 16ක් සඳහා රුපියල් කෝටි 10 සිට 50දක්වා  මුදලකට ගිවිසුම් ගත විය. මෙම IPL තරගාවලිය එංගලන්තයේ සුපිරි EPL පාපන්දු තරගාවලිය, ඇමරිකාවේ NBA පැසිපන්දු තරගාවලිය හා ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය මෙන් ලොව පුරා අවධානය දිනා ගන්නට සමත් විය. 

එහි මූලිකයා වූයේ දැනට වංචා දූෂණ චෝදනා මත ඉන්දියාව මගහැර එංගලන්තයේ වෙසෙන ලලිත් මෝඩිය. ලලිත් මෝඩි දැන් ඉන්දීය ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් වී ඇතත් ඔහුගේ  ව්‍යාපාරික ඉව (Business Sense) හා සැලසුම් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ   (Planning & Implementation) දක්ශතාවය නිසා අද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය රුපියල් බිලියන 400ක් (US$2Bn) වත්කම් ඇති ලොව ධනවත්ම ක්‍රිකට් පාලක මණ්ඩලය බවට ද, IPL හි සන්නාම වටිනාකම (Brand Value) රුපියල් බිලියන 1400 (US$7Bn) බවට ද පත් වී ඇත. 

T20 ලෙස හඳුන්වන මෙම ඉතිහාසය වෙනස් කළ තරග රටාවට ද දැන් අභියෝගයක් එංගලන්තය HUNDRED ලෙස ඉදිරිපත් කර ඇත. එහි සාර්ථක අසාර්ථක බව අනාගතය තීරණය කරනු ඇත. 

මොකක්ද මේ HUNDRED??? 

T20 තරුණයින්, කාන්තාවන් හා දරුවන් ක්‍රීඩාංගණයට හා රූපවාහිනි තිර වෙත ඇද ගත් අතර එය තවත් වේගවත් හා උද්වේගවත් කර කාලය අඩු කර එංගලන්තයේ ක්‍රීඩා ප්‍රේක්ෂකයන් තව පිරිසක් පාපන්දු, රග්බි හා ටෙනිස් වැනි ක්‍රීඩාවලින් ක්‍රිකට්වලට ඇද ගැනීමේ පරමාර්ථයෙන් හා රූපවාහිනි නාලිකාවල ආකර්ෂණය ලබා ගැනීමේ පරමාර්ථයෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) මෙම අත්හදා බැලීම කරන්නේ යැයි උපකල්පනය කළ හැක.

HUNDRED හි නීති රීති    

  • එක් කණ්ඩායමකට පන්දු 100ක් පන්දුවට පහරදීමට හැකිය. 
  • පන්දු 10කින් පසු පන්දු යැවීමේ අන්තය වෙනස් කළ යුතුය. (පෙර පරිදි පන්දු 6කින් නොවේ)
  • පන්දු යවන්නෙකුට එකවර පන්දු 5ක් හෝ 10ක් දැමිය හැකිය.
  • එක් පන්දු යවන්නෙකුට පන්දු 20ක් එක තරගයක දී යැවිය හැකිය.
  • සෑම පන්දු යවන කණ්ඩායමටම විනාඩි දෙක හමාරක උපක්‍රම විවේක කාලයක් (Strategic Time Out)  ලබා දේ.
  • පන්දු 25ක Power Play එක ඉනිම ආරම්භයේ දී ලැබේ.
  • Power Play තුල ක්‍රීඩකයන් දෙදෙනෙකුට පමණක් යාර 30 සීමාවෙන් පිට පන්දු රැකිය හැකිය.
  • විනාඩි දෙක හමාරේ Strategic Time Out එක ක්‍රීඩකයන්ට අවශ්‍ය ලෙස ලබා ගත හැක.
  • ලකුණු පුවරුව ඉතා සරල කර අනවශ්‍ය ඉලක්කම් ඉවත් කිරීමට යෝජනා කර ඇත. (විශේෂයෙන් ක්‍රිකට් ගැන ලොකු දැනුමක් නැති අයට පවා පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වීමට)

මෙම නීති රීති සමඟින් එංගලන්තයේ නගර 8ක් මූලික කර පිහිටුවා ගත් කණ්ඩායම් 8ක් මූලික කර ගෙන ලීග් ක්‍රමයට තරග 32ක් පවත්වා ඉහලින්ම සිටින කණ්ඩායම් තුන Knockout ලෙස කුසලානයට සටන් කරන ලෙස මෙම තරගාවලිය පිරිමි හා කාන්තා ලෙස සකස්කර ඇත.

මෙහි දී ලොව සිටින සුපිරිම ක්‍රීඩකයන් මෙන්ම සුපිරි පුහුණුකරුවන්ගෙන් හා එංගලන්තයේ සුපිරි ක්‍රීඩකයන් සමඟ සම්මිශ්‍රණයක් අපට දැක ගත හැක. ක්‍රීඩකයන් ගැන කතා කිරීමේ දී ඇන්ඩෘ රසල්, ග්ලෙන් මැක්ස්වෙල්, කගිසෝ රබාඩා, මොහොමඩ් අමීර්, ඒරන් ෆින්ච්, සුනිල් නාරායන්, මාර්කස් ස්ටෝනිස්, ඩේවිඩ් වෝනර්, රශීඩ් කාන්, කයිරන් පොලාඩ් ආදීන් ද පුහුණුකරුවන් ලෙස මුම්බායි ඉන්දියන්ස්ලාගෙ සුපිරි පුහුණුකරු මහේල ජයවර්ධන, ටොම් මූඩි, ෂේන් වෝන්, ගැරි කස්ටන්, ස්ටීවන් ෆ්ලෙමින් ආදී විශිෂ්ටයන්ගේ සේවය මෙම කණ්ඩායම්වලට ලබා ගෙන ඇත.

මෙම තරගාවලිය ක්‍රිකට් අනාගතය වෙනස් කරන තරගාවලියක් වන බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. මෙම තරගාවලියේ සාර්ථකත්වය ලෝක ක්‍රිකට් හැඩය මෙන්ම අනාගත ලීග් ක්‍රිකට්  (Franchise League) හැඩය ද වෙනස් කිරීමට මග පාදනු ඇත. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ශකයන්ට හා තරග විකාශකයන්ට (Broadcasters) අලෙවි කිරීමේ දී ඔවුන්ගේ තරගකරුවන් වන පාපන්දු, රග්බි, පැසිපන්දු, ටෙනිස් වැනි ක්‍රීඩාවලට සාපේක්ෂව ඇති ලොකුම අවාසිය තරගයක් අවසන් කිරීමට යන කාලයයි.

විශේෂයෙන්ම නව පරපුරේ ප්‍රේක්ෂකයන් පිටියට ඇද ගැනීමට මෙන්ම විනාඩිය මිලියන ගණනින් මණින සජීවී තරග විකාශන අයතන වන SKY, FOX, STAR SPORTS වැන්නන්ගේ ආකර්ෂණය ලබා ගැනීමට පැය තුනකින් පමණ අවසන් කළ හැකි මෙම HUNDRED තරග රටාව සුදුසුම විසඳුමයි.

මෙම තරග රටාවේ ඉදිරි සාර්ථකත්වය රඳා පවතින ප්‍රධාන සාධකය වන්නේ ක්‍රිකට් ලොව මූල්‍යමය වශයෙන් මෙන්ම අධිපතිවාදය අතින් ද දැවැන්තයා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මෙම HUNDRED තරග රටාවට දක්වන ප්‍රතිචාරයයි.

එය අනාගතයට භාර දී ප්‍රේක්ෂක අපට තවත් අලුත් අත්දැකීමක් රසවිඳීමට මෙම ජූලි අගෝස්තු වසන්ත කාලයේ දී එංගලන්තය දෙසට හැරෙමු.

HUNDRED කණ්ඩායම් විස්තර

කණ්ඩායමේ නම එංගලන්ත ප්‍රධාන

ක්‍රීඩකයා

කණ්ඩායමේ සිටින ලෝක ක්‍රිකට් තරු පුහුණුකරු
බර්මින්ග්හැම් ෆීනික්ස් ක්‍රිස් වෝක්ස් සහීඩි අෆ්‍රිඩි,  කේන් විලියම්සන්, ඇඩම් සැම්පා ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්
ලන්ඩන් ස්පිරිට් සැක් ක්‍රෝලි මොහොමඩ් අමීර්, ග්ලෙන් මැක්ස්වෙල්,  M.නබී ශේන් වෝන්
මැන්චෙස්ටර් ඔරිජිනලස්  ජොශ් බට්ලර් කගිසෝ රබාඩා, නිකලස් පූරාන්,  සඩාබ් අහමඩ් සයිමන් කැටිච්
නොදර්න් සුපර්චාර්ජර්ස් බෙන් ස්ටෝක්ස් ඒරන් ෆින්ච්, ක්‍රිස් ලින්, මුජිබුර් රහමන් ඩැරල් ලීමන්
ඕවල් ඉන්වින්සිනබල්ස් සෑම් කරන් සුනිල් නාරයන්, කොලින් ඉන්ග්‍රම් ටොම් මූඩි
සදර්න් බ්‍රේව් ජොෆ්රා ආචර් ඇන්ඩෲ රසල්, මාකස් ස්ටෝනිස්, ඩේවිඩ් වෝනර් මහේල ජයවර්ධන
ට්‍රෙන්ට් රොකට්ස් ජෝ රූට් ‍රශීඩ් ඛාන්, ඩාර්සි ශෝට්, නේතන් කුල්ටනයිල් ස්ටීවන් ෆ්ලෙමින්
වෙල්ශ් ෆයර් ඔලි පෝප් කයිරන් පොලාර්ඩ්, ජේයි රිචඩ්සන් ගැරි කස්ටන්

   

*මෙහි සදහන් සමහර විදෙස් ක්‍රීඩකයන්ගෙ සහභාගි වීම වර්තමාන කොවිඩ් තත්වය මත ස්ථීර නොමැත.

සැ.යු: මෙම ලිපියේ දැක්වෙන මතයන් සහ අදහස් මෙම ලිපිය රචිත පුද්ගලයාගේ අදහස් වන අතර ThePapare.com හි නිල ප්‍රතිපත්ති හෝ ස්ථාවරය මෙයින් පිළිබිඹු නොකරන බව කරුණාවෙන් සලකන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<