තාක්ෂණය භාවිතයෙන් පාපන්දු සම්මේලනයේ මෙහෙයුම් ඉදිරියට

65

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ඔවුන්ගේ මෙහෙයුම් සඳහා තාක්ෂණය භාවිතා කිරීමට සූදානමින් පසුවන බව එහි ගරු ලේකම් ජස්වාර් උමාර් මහතා පැවසීය. 

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස තත්වයත් සමඟ ලොවපුරා ක්‍රීඩා කටයුතු දින නියමයකින් තොරව කල්ගොස් ඇති පසුබිමක එය ශ්‍රී ලංකාවේ ද අනෙක් ක්‍රීඩා වලට මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ද එල්ල වී ඇත. ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු මෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ තරග ද මේ වන විට දින නියමයකින් තොරව කල්දමා ඇත. කෙසේ නමුත් මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ ලේකම් ජස්වාර් උමාර් මහතා පවසා සිටින්නේ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු බාධා අවම කර ගනිමින් පවත්වා ගෙන යාම සඳහා ඔවුන් තාක්ෂණය සහ අන්තර්ජාලය භාවිතා කිරීමට සූදානම් බවත්, මේ යටතේ දැනටමත් තරග තීරකවරුන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කර ඇති බවත් ය. 

“අපි වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් මේ වන විටත් තරග තීරකවරුන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කරලා තියෙන්නේ. එහිදී ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ ඉන්න තරග තීරකවරුන් 30 දෙනෙක්, සතියකට වරක් සජීව සාකච්ඡා, තරග වල සිදුවූ සැබෑ සිදුවීම් විශ්ලේෂණය සහ නීති වලට සිදුවූ නව වෙනස්කම් වැනි දේවල් පිළිබඳව සාකච්ඡා වෙනවා. ඔවුන්ට දිනයක් නියම කරලා ගෙදර වැඩ ලබා දෙනවා වගේම අන්තර්ජාලය හරහා විභාග ද පවත්වනවා. ඔවුන් සියලු දෙනාම මෙම නව තාක්ෂණය භාවිතය පිළිබඳව ගොඩක් සතුටින් ඉන්නේ.” 

මෙම වසංගත තත්වය උත්සන්න වන විට 2022 ලෝක කුසලාන තරගාවලියේ තේරීමේ තරග පැවැත්වෙමින් තිබූ අතර එහිදී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම පිළිවෙලින් උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ලෙබනනය යන කණ්ඩායම් වලට එරෙහිව ඔවුන්ගේ අවසන් තරග 3ට ද සහභාගී වන්නට නියමිතව තිබුනි. කෙසේ නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) එම තරග කල් දැමීමට තීරණය කරනු ලැබූ අතර ඒවා පැවැත්වෙන නව දිනයන් තවමත් දැනුම් දී නොමැත. 

ජස්වාර් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තත්වය හමුවේ සැලසුම් කර තිබූ කටයුතු රැසක් ඇණහිට ඇති මොහොතක පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබූ නව ‘Super League’ වෘත්තීය පාපන්දු තරගාවලිය ද මෙම වසරේ අග භාගය දක්වා කල් දැමීමට ඔවුන් තීරණය කළ බවයි. 

“අනෙක් සංවිධාන වල වගේම මේ තත්වය හේතුවෙන් අපෙත් එදිනෙදා කටයුතු මේ වන විට ඇණහිටලා තියෙන්නේ. අපේ සාමාන්‍ය තරගාවලි, ජාතික කණ්ඩායම් වල පුහුණුවීම්, යොවුන් තරගාවලි, කාන්තා පාපන්දු කටයුතු, පුහුණුකරුවන්ට ඉගැන්වීමේ කටයුතු සහ තරග තීරකවරුන්ගේ පාඨමාලා හැම දේකටම මේ හරහා බාධා එල්ල වෙලා තියෙන්නේ. අපේ රටේ තත්වය හොඳ අතට හැරුනට පස්සේ අපි මේවට පිළියම් සොයා ගැනීමට කටයුතු කරනවා.” 

තවත් කියවන්න:

තවද මෙම වසංගත තත්වය හේතුවෙන් පීඩාවට පත්වී ඇති පාපන්දු සමාජ, ක්‍රීඩකයින්, තරග තීරකවරුන් සහ පුහුණුකරුවන් සඳහා සහන සැලසීමට අදාළ යෝජනාවක් මේ වන විටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත ඉදිරිපත් කර ඇති බවත්, ඊට යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ජස්වාර් මහතා මෙහිදී පවසා සිටියේය. 

“අපි මේ වන විටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ කතාබහ කරමින් ඉන්නේ. ඒ අනුව පාපන්දු සමාජ, ක්‍රීඩකයින්, තරග තීරකවරුන් සහ පුහුණුකරුවන්ට සහන සැලසීමට අදාළ යෝජනාවක් අපි ඔවුන්ට ඉදිරිපත් කළා. ඔවුන් මේ වන විට අපේ යෝජනා පිළිබඳව ධනාත්මකව බලමින් ඉන්නේ. ඉදිරි සති කිහිපය තුළදී අපිට ඔවුන්ගෙන් යහපත් පිළිතුරක් ලැබෙයි කියලා මට ලොකු විශ්වායක් තියෙනවා. ඔවුන් අපිට පිළිතුරක් ලබා දුන් වහාම අපි පීඩාවට පත්වෙලා ඉන්න හැමෝටම සහන සලසන්න බලාපොරොත්තු වෙනවා.” 

විශේෂාංග ලිපි:

මාලදිවයින තුළ වසංගත තත්වය හේතුවෙන් සිරවී සිටින ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයින්ට මෙන්ම පුහුණුකරුවන්ට ද එරට පාපන්දු සංගමය හරහා උදව් උපකාර ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සංගමය මේ වන විට කටයුතු කර ඇති බව ද මෙහිදී වාර්තා විය. 

තවද පාපන්දු සම්මේලනය විසින් මේ වනCovid-19  විට අන්තර්ජාලය හරහා ‘D’ සහතික පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින අතර ඊට සහභාගී වන්නන් හට අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් දේශන පවත්වා, අනතුරුව අන්තර්ජාලය හරහාම විභාගයකුත් පවත්වා, ඉන් සමත් වන්නන් හට මෙම වසරේ අවසානයට පෙර ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට අදාළ සහතික නිකුත් කිරීමට ඔවුන් එහිදී බලාපොරොත්තු වේ. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<