Barcelona ක්‍රීඩාංගණයේ නාමික අයිතීන් විකිණේ?

99
Camp Nou

එළඹෙන තරග වාරයේ සිට ස්පාඤ්ඤයේ FC Barcelona පාපන්දු සමාජය ඔවුන්ගේ Camp Nou ක්‍රීඩාංගණයේ නාමික අයිතීන් විකිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

1997 වසරේ දී ඉදි කරනු ලැබූ Barcelona පාපන්දු සමාජයේ නිල ක්‍රීඩාංගණය වන Camp Nou ක්‍රීඩාංගණය 99,000කට අධික ප්‍රේක්‍ෂක ධාරිතාවයකින් යුතු වන අතර ඒ අනුව එය පිළිගනු ලබන්නේ යුරෝපය තුළ ඇති විශාලතම පාපන්දු ක්‍රීඩාංගණය ලෙසයි. 

එය විවෘත කරනු ලැබූ දිනයේ සිට අද දක්වාම ඉතිහාසය පුරාවට එහි නාමික අයිතීන් කිසිදු අවස්ථාවක විකිණීමට කටයුතු නොකෙරුණු නමුත් මේ වන විට ඇතිව තිබෙන ‘Coronavirus’ තත්වය මැඩලීමට දායකත්වය ලබා දීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ඉහළ නැංවීම අරමුණු කොටගෙන එහි නාමික අයිතීන් විකිණීමට සූදානමක් පවතින බව Barcelona පාපන්දු සමාජය තහවුරු කරනු ලැබීය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් Barcelona උප සභාපතිවරයෙකු වන Jordi Cardoner ප්‍රකාශ කර සිටියේ;

“අපි මුළු ලෝකෙටම පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා ඉතිහාසයේ පළමු වතාවට අවශ්‍ය කෙනෙකුට තම නාමය Camp Nou ක්‍රීඩාංගණයේ ඇතුළත් කරගන්න දැන් අවස්ථාව තියෙනවා. ඒකේ ප්‍රතිලාභ අපේ පාපන්දු සමාජයට විතරක් නෙමෙයි, සමස්ත ජනතාව වෙනුවෙන්ම යොමු කෙරෙනවා. හදිසියේම ඇතිවෙච්ච ‘Coronavirus’ තත්වය නිසා තමයි මේ තීරණය ගත්තේ. මම හිතනවා අපි ඒකට ඉක්මන් පිළිතුරක් ලබා දිය යුතුයි කියලා. ඒ නිසා තමයි ඒකට අපි අපේ වටිනාම සම්පතක් වන ක්‍රීඩාංගණය තෝරගත්තේ.”

‘Coronavirus’ වසංගත තත්වයට එරෙහිව ස්පාඤ්ඤ බලධාරීන් ගෙන යනු ලබන වැඩපිළිවෙළවල් ශක්තිමත් කිරීම සඳහා Barcelona පාපන්දු සමාජය විසින් ඔවුන්ගේ ක්‍රීඩාංගණය සෞඛ්‍ය සේවාවන් සඳහා විවෘත කිරීම සහ Barcelona පදනමේ සාමාජිකයින් හරහා වෛද්‍ය උපකරණ ගෙන්වීම ඇතුළු තවත් ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. 

ඒ වෙනුවෙන් ගනු ලබන තවත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ක්‍රීඩාංගණයේ නාමික අයිතීන් විකිණීම ක්‍රියාත්මක වනු ඇති අතර ඒ සඳහා වන ගිවිසුම එළඹෙන 2020/21 තරග වාරයේ සිට වසරක කාලයක් සඳහා වලංගු වනු ඇත. 

තවත් කියවන්න;

මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ;

“Barcelona පදනම එළඹෙන සතිවල දී ක්‍රීඩා සමාජයේ වෙළඳ අංශය සමඟ එක්ව එක් තරග වාරයක කාලයක් සඳහා Camp Nou ක්‍රීඩාංගණයේ නාමික අයිතීන් ලබා ගැනීමට කැමති අනුග්‍රාහකයෙක් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඒ හරහා ලැබෙන මුදල් ‘COVID-19’ වසංගතය මැඩලීම උදෙසා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ද ගෙන යනු ලබන පර්යේෂණ ව්‍යාපෘති සහ අනෙකුත් ව්‍යාපෘති ශක්තිමත් කිරීම සඳහා යොදවනු ලබනවා.

අපි මේ අයිතිය පවරා දෙන්නේ ඉතිහාසයේ පළමු වරට Camp Nou ක්‍රීඩාංගණයට නමක් යෙදීම උදෙසා. නාමික අයිතීන් ලබා දීම අපි මීට කලින් කිසිම දිනෙක භාවිතා නොකරනු ලැබූ වෙළඳ උපක්‍රමයක්.”

ඒ අනුව මෙම නාමික අයිතීන් ලබාදීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග එළඹෙන මාස කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<