Neymarගේ ආශ්‍රය Mbappeට හරහට හිටී ද?

153
Neymar and Mbappe

Neymar සමඟ පවතින හිතවත්කම Kylian Mbappeගේ දියුණුවට බාධාවක් විය හැකි බව හිටපු ප්‍රංශ ක්‍රීඩක Emmanuel Petit පවසා ඇත. 

2015 වසරේ දී 17 වන වියේ දී යොවුන් ක්‍රීඩකයෙක් ලෙස ප්‍රංශයේ Monaco කණ්ඩායම සමඟ සිය පළමු වෘත්තීය පාපන්දු තරගයට ක්‍රීඩා කළ Mbappe එතැන් සිට මේ දක්වා ලොව සිටින ප්‍රබලම පාපන්දු ක්‍රීඩකයෙක් දක්වා වර්ධනයක් ළඟා කරගන්නට සමත්ව ඇත.

Monaco කණ්ඩායම 2016 වසරේ දී වසර 17ක දීර්ඝ විරාමයකින් අනතුරුව ප්‍රංශ Ligue 1 ලීග් ශූරතාවයට මෙන්ම ඔවුන්ව 2016-17 UEFA Champions League තරගාවලියේ අවසන් පූර්ව වටය කරා රැගෙන යාමේ දී ද Mbappeගේ දායකත්වය අතිශය වැදගත් වන්නට විය. 

අනතුරුව 2017 වසරේ දී ඔහු තාවකාලිකව ප්‍රංශයේම ප්‍රබල Paris Saint-Germain (PSG) පාපන්දු සමාජය සමඟ එක්වන්නට වූ අතර ඉන් වසරකින් පසුව PSG ඔහුගේ එම එක්වීම ස්ථිර එකක් බවට පත්කරනු ලැබුවේ යූරෝ මිලියන 180ක අති දැවැන්ත මුදලකට ඔහුව මිල දී ගනිමිනි. ඒ අනුව PSG සමඟ මේ වන විට සුපිරි දක්‍ෂතා දක්වමින් ඔහු ඔවුන් වෙනුවෙන් තරග 72ක දී ගෝල 49ක් වාර්තා කරගෙන ඇත්තේ ඔවුන්ව ප්‍රධාන ශූරතාවලි 5ක් කරා ද රැගෙන යමිනි. 

තවදුරටත් 2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් ප්‍රංශ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වූ ඔහු තරගාවලිය පුරාවට අවසන් තරගයේ ද ඇතුළුව ගෝල 4ක් වාර්තා කර ගනු ලැබුවේ තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය ද තමන් සතුකර ගනිමිනි. 

එහි දී විශේෂයෙන් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ දී Lionel Messi ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම හමුවේ ගෝල 2ක් වාර්තා කරගනිමින් ගෝල 4-3ක් ලෙස සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ දී ඔහු දැක්වූ දක්‍ෂතා ලොව පුරා පාපන්දු විශේෂඥන්ගේ ඇගයීමට ලක්වන්නට විය.

ඒ අනුව ප්‍රංශයේ හිටපු දක්‍ෂ මැදපෙළ ක්‍රීඩකයෙකු වන Petit විසින් Mbappe මේ දක්වා අත්කරගෙන ඇති දියුණුව පිළිබඳව ඔහුට පැසසුම් එක්කරන්නට විය. 

“Mbappe පසුගිය වසර 3ක කාලය තුළ ගොඩක් වර්ධනය වෙලා තියෙනවා. ඔහු පාපන්දු ක්‍රීඩාවට එන්නේ ඔපමට්ටම් නොකළ දියමන්තියක් ලෙස ගොඩක් දියුණු කළ හැකි ක්‍රීඩකයෙක් විදිහට. ගොඩක් ප්‍රබල ක්‍රීඩකයින් ඉන්න කණ්ඩායමක ලොකු මිලක් තමන්ගේ නම ඉදිරියේ සටහන් වෙලා තියෙන පසුබිමක තමයි Mbappeට ඔහුගේ දක්ෂතා පෙන්නන්න වුනේ. ඒ වගේ දේවල් පිටිය තුළ වගේම ඉන් පිටත දීත් බලපානවා. නමුත් ඔහු මේ වන විට පෙන්නලා තියෙනවා ඔහුගේ දක්‍ෂතාවන්. සංඛ්‍යා දත්ත බැලුවම වුණත් ඒක පැහැදිලි වෙනවා. ඒ අනුව ඔහුගේ ක්‍රීඩා විලාශයේ ගොඩක් අංග වල ලොකු පරිණත භාවයක් ඔහු මේ වනවිට පෙන්නුම් කරනවා. 

තවත් කියවන්න;

PSG වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දී Mbappe එහි තවත් ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන ප්‍රබල ක්‍රීඩක Neymar සමඟ ඉතා කිට්ටු මිතුදමක් ගොඩනඟා ගෙන සිටින අතර තවදුරටත් ඔවුන් දෙදෙනා පිටිය තුළ ද එකිනෙකා පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව ක්‍රීඩා කරන බව ඔවුන්ගේ තරග නරඹන ඕනෑම කෙනෙකු හට හොඳින්ම දැකබලා ගත හැක. ඒ අනුව Neymarගේ ආශ්‍රය ඔහුගේ දියුණුවට ඉදිරියේ දී විශාල බාධාවක් විය හැකි බව ඉස්මතු කර දක්වන අතරෙම Petit වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඔහු සම්මාන දිනා ගැනීමේ අදහසින් පිටිය තුළ ඕනෑවට වඩා පීඩනයක් සිතට ගැනීමෙන් වැළකිය යුතු බවයි. 

“කෙතරම් දක්‍ෂ වුනත් ඔහු ක්‍රීඩා කරන විදිහෙන් මට ගොඩක් වෙලාවල් වල ලොකු තරහක් ඇතිවෙනවා. ඔහු පිටිය තුළ ඕනෑවට වඩා දේවල් කරන්න යනවා වැඩියි. ඔහු ඒවා කරන්න ගිහින් වැරදි තීරණ ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඒක ඔහුගේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ටත් ලොකු කරදරයක්. අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා ඔහු ගොඩක් තරුණ ක්‍රීඩකයෙක් කියලා. 

ඔහු මේ වන විටත් ගොඩක් දේවල් ඔප්පු කරලා තියෙනවා. ඒත් අපි හැමතිස්සෙම ඔහුගෙන් ඊට වඩා යමක් ඉල්ලනවා. ඔහු පිටිය තුළ දක්‍ෂතා සැබවින්ම විශිෂ්ටයි. ඔහුට ගොඩක් හොඳ අනාගතයක් තියෙනවා. එහෙම වෙලා තියෙද්දීත් ඔහු මේ විදිහට තමන්ව ම පීඩනයට ලක්කර ගන්නේ මට නම් හිතෙන විදිහට ඔහුට Ballon d’Or සම්මානය දිනන්න අවශ්‍ය නිසා. නමුත් ඒක වැරදියි.

ඒ වගේම ඔහු ඔහුගේ හැසිරීම ගැන ගොඩක් සැලකිලිමත් විය යුතුයි. ඕනෑවට වඩා Neymarව ආශ්‍රයට ගැනීම ඔහුගේ නරකට හිටින්න පුළුවන්.”

සිය වෘත්තීය පාපන්දු දිවිය තුළ Monaco, Arsenal, Barcelona සහ Chelsea පාපන්දු සමාජ නියෝජනය කරනු ලැබූ Petit ප්‍රංශ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 1998 පාපන්දු ලෝක කුසලානයත්, 2000 European Championship තරගාවලියත් ජයග්‍රහණය කරන්නට සමත් විය.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<