කොරෝනාවට බිලි වූ පාපන්දු ලෝක ශූරයා

135

එංගලන්තයේ පාපන්දු ලෝක ශූරයෙකු සහ Leeds United කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු වන Norman Hunter පසුගිය 17 වනදා නව කොරෝනා වසංගතය ආසාදිත වී ජීවිතක්‍ෂයට පත්විය. 

එම වෛරස් තත්වය ආසාදිත වී ඇති බවට තහවුරු වී සතියක පමණ කාලයක් තුළ Norman මේ ආකාරයට මිය යන විට ඔහු 76 වන වියේ පසුවිය. සිය පාපන්දු දිවියේ වැඩි කලක් ගත කළ එංගලන්තයේ Leeds United පාපන්දු සමාජය ඔහුගේ වියෝව පිළිබඳ පුවත නිල ප්‍රකාශයක් හරහා දැනුම් දුන්හ. 

“COVID-19 වෛරසය ආසාදිත වෙලා කියලා දැනගත් වහාම පසුගිය සතියේ ඔහුව රෝහල වෙත රැගෙන ගියා. ජාතික සෞඛ්‍ය සේවකයින්ගේ උපරිම උත්සාහය හමුවේ ඔහු ඉන් සුවය ලබන්න ලොකු සටනක නිරත වුනත්, කියන්න කණගාටුයි ඔහු ඒ සටනින් අද උදෑසන පරාජයට පත්වුනා.”  

“අපේ Leeds United පවුලට ඔහු මේ විදිහට අහිමි වීම ලොකු අඩුවක්. නමුත් ඔහු අපේ පාපන්දු සමාජය වෙනුවෙන් කරපු මෙහෙවර සදා අමරණීය යි. ඒ වගේම Normanගේ පවුලේ අයට වගේම ඔහුගේ සමීපතමයින්ටත් අපි මේ අවස්ථාවේ අපේ කණගාටුව එක්කර සිටිනවා.” 

කුඩාකල සිට ‘centre-back’ ක්‍රීඩකයෙකු ලෙස Leeds යොවුන් සංචිත සඳහා ක්‍රීඩා කරනු ලැබූ Norman, 1962 වසරේ දී ඔවුන්ගේ පළමුපෙළ කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ මංගල තරගයට ක්‍රීඩා කරනු ලබන්නේ වයස අවුරුදු 19ක තරුණයෙකු ලෙස සිය වෘත්තීය පාපන්දු දිවිය ආරම්භ කරමිනි. එහිදී ඔහු සිය පළමු තරගය ආරම්භ කරන විට Leeds පාපන්දු සමාජය එංගලන්ත අන්තර් සමාජ ලීග් තරගාවලි වල දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් වූ අතර ඔවුන් පළමු කාණ්ඩය වෙත උසස් වීමක් ලබා ගැනීමට සමත් වන්නේ 1964 වසරේ දී දෙවන කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ය. ඒ වන විට Donald Revie ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර එතැන් පටන් වසර ගණනාවක් පුරාවට Norman විසින් Leeds සමඟ ශූරතා සහ සම්මාන රැසක් දිනා ගන්නට සමත් විය. 

එහිදී එකළ එංගලන්ත පාපන්දු ලීගයේ පළමු කාණ්ඩයට (වර්තමාන Premier League තරගාවලිය) උසස් වීමක් ලබා ගැනීමෙන් පසුව එළැඹි 1964-65 තරග වාරයේ දීම ඔවුන් එහි ශූරතාවය මෙන්ම FA කුසලාන ශූරතාවය ද ජයග්‍රහණය කරන්නට ඉතා ආසන්නයට පැමිණෙන්නට සමත් විය. කෙසේ නමුත් එහිදී FA කුසලාන අවසාන මහා තරගයේ දී Liverpool හමුවේ පරාජයට පත්වීමත්, අනෙක් පසින් ලීග් තරගාවලියේ Leeds සමඟ සම ලකුණු හිමිකර ගෙන සිටියත් Manchester United විසින් ගෝල සාමාන්‍ය හරහා එහි ශූරතාවය හිමිකර ගැනීමත් හරහා ඔවුන්ට එම අවස්ථාවන් ද්විත්වයම අහිමිව ගියේය. නමුත් එහිදී Norman තරගවාරය පුරාවට දැක්වූ දක්‍ෂතාවන් කැපී පෙනෙන්නට විය. 

එහිදී ඔහු සර් Jack Charlton සමඟ එක්වෙමින් දශකයකට අධික කාලයක් පුරාවට ගොඩනඟා ගත් ‘centre-back’ සබඳතාවය එකළ කාගේත් ඇගයීමට ලක්විය. පසුපෙළ ක්‍රීඩකයෙකු ලෙස Norman ඉතා සාර්ථකව මෙන්ම ජවයෙන් ද යුතුව ‘tackle’ කිරීමට දැක්වූ දක්ෂතාවය හේතුවෙන් ඔහුට ‘Bites Yer Legs’ යන අනුවර්ත නාමය ද පටබැඳුනි. කෙමෙන් කෙමෙන් Leeds පාපන්දු සමාජය විසින් 60 දශකයේ අවසානයේ සිට 70 දශකයේ මැද භාගය දක්වා එංගලන්තයේ සිටි ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගන්නට සමත් වූ අතර එහිදී Norman ද පාපන්දු ලොව දක්ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයෙකු ලෙස සිය නාමය ස්ථාපිත කරගන්නට සමත් විය. ඒ අනුව Leeds පාපන්දු සමාජය විසින් 1968-69 සහ 1973-74 තරගවාරවල පාපන්දු ලීගයේ ශූරතාවය දිනා ගැනීමේ දී Norman විසින් අඛණ්ඩව කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් විය. 

Leeds පාපන්දු සමාජය විසින් එහිදී එංගලන්තයෙන් ඔබ්බට යුරෝපය තුළද ප්‍රබල කණ්ඩායමක් ලෙස ඉදිරියට එන්නට සමත් වූ අතර ඒ අනුව ඔවුන් 1973 European Cup Winners’ Cup තරගාවලියේ මෙන්ම 1975 European Cup තරගාවලියේ ද (වර්තමාන UEFA Champions League තරගාවලිය) අනුශූරතාවය දිනා ගන්නට සමත් විය. එහි අවසන් මහා තරග වලදී පිළිවෙලින් ඔවුන් ඉතාලියේ AC Milan සහ ජර්මනියේ Bayern Munich කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුවත් එම තරග දෙකම මතභේදාත්මක සිදුවීම් වලින් පිරී තිබිනි. ඒ අනුව 1973 European Cup Winners’ Cup තරගාවලියේ අවසන් මහා තරගයේ දී තරග විනිසුරුවරයාගේ තීරණ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධතා එල්ල වන්නට වූ අතර පසුව මුදලට තරග පවා දීමට අදාළව එම විනිසුරුවරයාට තරග තහනමක් පැනවිනි. 

එමෙන්ම 1975 European Cup තරගාවලියේ අවසන් මහා තරගයේ දීද එවන් ගැටළු රැසක් ඇතිවූයේ Leeds පාපන්දු සමාජය වෙත අවස්ථාවන් කිහිපයක දීම දඬුවම් පහර අවස්ථාවන් ලබා නොදීමට කටයුතු කිරීමත්, වාර්තා කරගත් ගෝල වලංගු නොවන බවට විනිසුරුවරයා විසින් සංඥා කිරීමත් හේතුවෙනි. එහිදී තරගය අවසානයේ Leeds ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් එම තීරණ වලට විරෝධය දක්වමින් ක්‍රියාකළ කලහකාරී ආකාරය හේතුවෙන් ඔවුන්ට යුරෝපීය තරගාවලි සඳහා වසර 2ක තරග තහනමක් ද පැනවිනි. කෙසේ නමුත් මෙම තරගාවලිවල අවසන් මහා තරග වලට Leeds පාපන්දු සමාජය රැගෙන යාමේ දී Norman ඉතා විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වූ අතර සිදු වූ බවට පැවසෙන එම අසාධාරණකම් නොවන්නට ඔවුන්ට එම තරගාවලි ජයග්‍රහණය කරන්නට අවස්ථාව හිමිවන්නට ද තිබුනි. 

ඒ අනුව වසර 14ක කාලයක් පුරාවට Leeds පාපන්දු සමාජය වෙනුවෙන් තරග 726ක් ක්‍රීඩාකළ ඔහු, Leeds පාපන්දු සමාජ ඉතිහාසයේ ස්වර්ණමය කාලය ලෙස සැලකෙන එම කාලවකවානුව තුළ කණ්ඩායමේ අතිශය වැදගත් ක්‍රීඩකයෙකු ලෙස අදටත් බොහෝදෙනාගේ පැසසුමට ලක්වේ. 

1973-74 තරගවාරයේ දී Norman විසින් ඉතිහාසයේ පළමු PFA වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම ඔහු එහිදී දැක්වූ දක්ෂතාවයන් වලට කදිම නිදසුනකි. එහිදී ඔහු Leeds පාපන්දු සමාජය සමඟ ගතකළ වසර 14ක කාලය තුළ සමස්තයක් ලෙස ඔහු පෙර සඳහන් කරනු ලැබූ ශූරතා සහ සම්මාන වලට අමතරව 1972 FA කුසලානය සහ එහි අනුශූරතාවය තෙවරක්, 1968 EFL ශූරතාවය (වර්තමාන Carabao Cup තරගාවලිය), 1969 FA Charity Shield (වර්තමාන FA Community Shield) ශූරතාවය සහ 1974 එහි අනුශූරතාවය හා Inter-Cities Fairs Cup ශූරතාවය දෙවරක් සහ එහි අනුශූරතාවය එක් වරක් ද දිනා ගැනීමට සමත් වූයේ තවත් පෞද්ගලික සම්මාන කිහිපයක් ද දිනා ගනිමිනි. 

අනතුරුව 1976 වසරේ දී 33 වන වියේ පසුවූ Norman, පවුම් 40,000ක මුදලකට Bristol City සමඟ එක්වූ අතර පසුව ඔහුගේ පාපන්දු දිවියේ අවසන් වසර කිහිපය සඳහා ඔහු Barnsley සමඟ එක්වූයේ 1982 වසරේ දී අවසාන වශයෙන් ඔහු පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමිනි. 

මේ අතරතුර ඔහු එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම සඳහා ද තරග 29ක් ක්‍රීඩා කරනු ලැබූ අතර ඒ අතරින් ඔහු 1966 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීම කැපී පෙනිනි. කෙසේ නමුත් ඔහු එහිදී එංගලන්ත ලෝක කුසලාන සංචිතය නියෝජනය කරනු ලැබුවත් තරගාවලිය තුළ එකඳු තරගයක් හෝ ක්‍රීඩා නොකිරීම හේතුවෙන් එකළ පැවති නීතිරීති වලට අනුව ඔහුට ලෝක කුසලාන ජයග්‍රහණ පදක්කම පිරිනැමුනේ නැත. ඒ වන විට ඔහු අවුරුදු 23ක තරම් තරුණ වයසක සිටි අතර සර් Jack Charlton සහ සර් Bobby Moore දෙපළ කණ්ඩායමේ පසුපෙළ ඉහළ සබඳතාවයක් ගොඩනඟා ගනිමින් සුපිරි දක්ෂතා දැක්වීමත් සමඟ Normanට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත. 

තවත් කියවන්න: 

කෙසේ නමුත් 2007 වසරේ දී සිදුවූ නීතිරීති වල වෙනසක් හරහා එම 1966 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් ඔහුට වසර 41ක ඉතා දීර්ඝ කාලයකින් අනතුරුව එම ලෝක කුසලාන පදක්කම පිරිනමන්නට කටයුතු කෙරිනි. අනතුරුව 1970 වසරේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දීද ඔහු එංගලන්ත කණ්ඩායම නියෝජනය කරනු ලැබූ අතර ඔහු අතින් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් 1974 වසරේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගන්නට එංගලන්තය අසමත් වීමත් සමඟ ඔහු සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදුන්නේය. 

1982 වසරේ දී අන්තර් සමාජ පාපන්දු දිවියට ද සමු දීමෙන් අනතුරුව ඔහු පුහුණුකරන කටයුතු කරා යොමුවෙමින් Barnsley සහ Rotherham United පාපන්දු සමාජ වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවත් එහිදී දැඩි සාර්ථකත්වයක් අත්කර ගන්නට ඔහු සමත් වූයේ නැත. 

ඔහුගේ දිවියේ අවසාන කාල සීමාව ගෙවී ගියේ Leeds United පාපන්දු සමාජයේ Elland Road ක්‍රීඩාංගණය වෙත තරග නැරඹීමට පැමිණෙමින් එහිදී ක්‍රීඩකයින්, නිලධාරීන් සහ රසිකයින් සමඟ සුහද කතාබහක නිරත වෙමිනි. එහිදී ඔහු Leeds පාපන්දු සමාජයට සම්බන්ධ සෑම දෙනෙකුගේම දැඩි ආදරයට මෙන්ම ගෞරවයට ද පාත්‍ර විය. 

අනෙක් පසින් Norman ද Leeds පාපන්දු සමාජයට දැඩි ලෙස ආදරය කළ අතර ඔහු මෑතක දී පවසා තිබුනේ Leeds පාපන්දු සමාජය නැවතත් Premier League තරගාවලියේ ක්‍රීඩා කරනු දැකීම ඔහු තුළ පවතින එක් සිහිනයක් වන බවයි. 

2003-04 තරගවාරයේ දී දෙවන කාණ්ඩය වෙත පසුබැසීමෙන් අනතුරුව Leeds පාපන්දු සමාජය මේ දක්වා නැවතත් Premier League තරගාවලියට උසස් වීමක් ලබා ගන්නට සමත්ව නොමැත. කෙසේ නමුත් ඔවුන් මේ වන විට මෙවර තරගවාරයේ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛස්ථානය හිමිකර ගෙන සිටින අතර බොහෝදෙනෙකු අනුමාන කරන්නේ ඔවුන් මෙම තරගවාරය අවසානයේ උසස් වීමක් ලබා ගැනීමට සමත් වනු ඇති බවයි. නමුත් එය එසේ වෙමින් Normanගේ සිහිනය සැබෑ වුවත් එය දෑසින් දැකගැනීමට පෙර ඔහු  මෙලොව හැරදමා ගොස් අවසන් ය. 

තවත් විශේෂාංග ලිපි:

ඒ අනුව ඔහු Leeds වෙනුවෙන් කළ අනූපමේය මෙහෙය අගයමින් ඔවුන්ගේ Elland Road ක්‍රීඩාංගණයේ දකුණු අන්තයේ ඇති ප්‍රේක්ෂකාගාරය ඔහුගේ නමින් නම් කෙරෙනු ඇති බව එම පාපන්දු සමාජයේ හිමිකරු Andrea Radrizzani පසුගියදා පවසනු ලැබීය. 

“Norman ඔහුගේ ජීවිත කාලය පුරාවටම අපේ පාපන්දු සමාජය වෙනුවෙන් කරපු මෙහෙවර සහ කැපකිරීම් අගයන්න ඔහුගේ නමින් ක්‍රීඩාංගණයේ දකුණු අන්තයේ ප්‍රේක්ෂකාගාරය නම් කරන්න අපි කටයුතු කරනවා. Normanට අපේ පාපන්දු සමාජයට සම්බන්ධ හැමෝම ආදරය කළා වගේම ගොඩක් ගෞරව කළා. මේ වෙලාවේ උදාවෙලා තියෙන තත්වයත් එක්ක ඔහු අපිව හැරයන මේ මොහොතේ, ඔහුට ලැබිය යුතු නියම ගෞරවය අපිට දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් ආයේ එංගලන්තයේ පාපන්දු ක්‍රීඩාව ආරම්භ වෙනකොට පාපන්දු ලෝලීන්ට ඔහුට ගෞරවය දක්වන්න ක්‍රීඩාංගණයේ දකුණු අන්තයේ ප්‍රේක්ෂකාගාරය ඔහුගේ නමින් නම් වෙලා තියේවි.” 

ඒ අනුව මෙය Normanට සිදුකෙරෙන ඉහළ ගෞරව කිරීමක් වනු ඇති අතර ඔහු මේ වන විට මෙලොව හැරගොස් ඇතත් Leeds කණ්ඩායමේ අංක 06 ජර්සිය පළඳමින් වසර 14ක කාලයක් පුරාවට භයානක ‘tackle’ දමමින් ප්‍රතිවාදීන් අසරණ කරමින් ඔහු දියත් කළ ප්‍රබල, ජවසම්පන්න ක්‍රීඩා විලාශය පාපන්දු ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් අතරට එක්වී තිබෙනු ඇති බව නොඅනුමාන ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<