ජාත්‍යන්තර පාපන්දු තරග නැවතත් සැප්තැම්බර් මාසයේ දී?

76
Aleksander Ceferin

ජාත්‍යන්තර පාපන්දු තරග එළඹෙන සැප්තැම්බර් මාසයේ දී නැවතත් ආරම්භ කිරීමට හැකිවනු ඇති බව UEFA සභාපති Aleksander Ceferin විශ්වාස කරයි. 

මේ දිනවල ලොවපුරා සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් යුරෝපය පුරා ජාත්‍යන්තර පාපන්දු තරගාවලි දින නියමයකින් තොරව කල්දමා ඇත. ඒත් සමඟ එංගලන්තයේ පාපන්දු සංගමය (FA) මේ වන විට පවුම් මිලියන 150ක දැවැන්ත පාඩුවක් අත්විඳිමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඊට මෙම කාලය පුරාවට එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ අක්‍රිය භාවය බෙහෙවින් බලපා ඇත. එංගලන්තයේ පාපන්දු සංගමයට එරට ජාතික කණ්ඩායම විශාල මුදලක් උපයා දීමත් සමඟ නැවතත් තරග ආරම්භ වීම තවදුරටත් කල් යන්නේ නම් ඒ හරහා ඔවුන්ට සිදුවන අලාභය ද දිනෙන් දින ඉහළ යනු ඇත. ඒ අනුව ඔවුන් මෙම තත්වය සමථයකට පත්කර ගැනීමට නම් ඉක්මණින් පාපන්දු තරග නැවතත් සුපුරුදු පරිදි පැවැත්විය හැකි වාතාවරණයක් උදාවිය යුතුය. 

කෙසේ නමුත් මේ වන විට යුරෝපය පුරා අන්තර් සමාජ තරගාවලි ද ඇතුළුව පාපන්දු තරගාවලි සියල්ලම දින නියමයකින් තොරව කල්දමා තිබීමත් සමඟ නැවතත් ජාත්‍යන්තර පාපන්දු තරග ආරම්භ වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් තවමත් උදාවී නොමැත. කෙසේ නමුත් මේ පිළිබඳව විමසූ අවස්ථාවක දී UEFA සභාපති Aleksander Ceferin ප්‍රකාශ කර සිටියේ; 

“මම හිතනවා ජාත්‍යන්තර තරග නැවතත් සැප්තැම්බර් මාසයේ දී පටන් ගන්න පුළුවන් වෙයි කියලා.” ලෙසයි. 

ඒ අනුව සකස් කර තිබූ කාලසටහන් වලට අනුව එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේ දී UEFA Nations League තරගාවලිය යටතේ අයිස්ලන්තය සහ ඩෙන්මාර්කයට එරෙහිව එම රටවල් වලදී තරග 2කට සහභාගී වීමට නියමිතව ඇත. අනතුරුව ඔක්තෝම්බර් මාසයේ දී ඔවුන් එම කණ්ඩායම් දෙක සමඟ සිය රටේ දී තරග වැදීමට නියමිතය. 

තවත් කියවන්න; 

2021 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ UEFA Nations League තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විටත් කල්දමා ඇත. නමුත් තරගාවලියේ අනෙක් තරග නියමිත කාලසටහනට අනුව හැකි ආකාරයට පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි සංවිධායකයෝ අපේක්‍ෂා කරති. 

තවද එංගලන්තයේ පාපන්දු සංගමය UEFA Nations League තරගාවලියේ විකාශන අයිතීන්ට අදාළව Sky මාධ්‍ය ජාලය සමඟ පවුම් මිලියන 100ක ගිවිසුමකට ද එළඹ ඇති අතර මෙම තත්වය යථාතත්වයට පත්නොවුනහොත් ඊට ද විශාල බලපෑමක් එල්ල වනු ඇති බව නොඅනුමානය. 

විශේෂාංග ලිපි; 

කෙසේ නමුත් එළඹෙන වසරට කල්දැමුනු EURO 2020 තරගාවලියේ ‘play-off’ වටයේ තරග ද තවමත් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ අනුව ඉදිරියේ දී නුදුරු දිනෙක දී ජාත්‍යන්තර පාපන්දු තරග නැවතත් ආරම්භ වුවත් ඊට අදාළ තරග කාලසටහන කෙසේ සැකසෙනු ඇත්දැයි අනුමාන කළ නොහැක. 

තවද අගෝස්තු මාසයේ අවසානය දක්වා UEFA Champions League තරගාවලියේ අවසන් මහා තරගය ද පැවැත්වීමට හැකියාවක් නොමැති බවට වාර්තා පළවීමත් සමඟ එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ජාත්‍යන්තර පාපන්දු තරග කෙසේ නැවතත් ආරම්භ කරනු හැකිවේ දැයි නිගමනය කළ නොහැක. 

කෙසේ නමුත් Ceferin මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ UEFA Champions League සහ Europa League තරගාවලි වල කාලසටහනට අදාළව කිසිඳු තීරණයක් ඔවුන් තවමත් ගෙන නොමැති බවයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<