“ඔහුට එංගලන්තයේ සචින් ටෙන්ඩුල්කාර් වෙන්න තිබුණා” – Andrew Flintoff

103
Phil Neville could have been England’s Tendulkar – Flintoff

එංගලන්තයේ හිටපු පාපන්දු ක්‍රීඩක Phil Neville ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූවා නම් ඔහු ඉතා සාර්ථක ක්‍රීඩකයෙක් වන්නට ඉඩ තිබූ බව එරට හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Andrew Flintoff පවසා ඇත. 

1990 වසරේ සිට එංගලන්තයේ ප්‍රබල Manchester United පාපන්දු සමාජයේ යොවුන් කණ්ඩායම් නියෝජනය කළ Phil Neville 1994 වසරේ දී 17 වන වියේ යොවුන් ක්‍රීඩකයෙක් ලෙස එහි පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන්නට වරම් ලබන්නේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස සිය ක්‍රීඩා දිවිය ආරම්භ කරමිනි.

එතැන් පටන් Manchester United සමඟ වසර 11කුත්, එංගලන්තයේම Everton පාපන්දු සමාජය සමඟ වසර 8කුත්, ඒ අතරතුර එංගලන්ත ජාතික කණ්ඩායම සමඟ වසර 9ක කාලයකුත් ‘right-back’ සහ මැදපෙළ ක්‍රීඩකයෙක් ලෙස ඔහු ඉහළ දස්කම් දක්වන්නට සමත් වන්නේ ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගනිමිනි. 

කෙසේ නමුත් Phil කුඩා කළ දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරනු ලැබූ අතර එහි සුවිශේෂී දස්කම් දක්වන්නට ද සමත් විය. කුඩා කළ ඔහුගේ සමකාලීනයෙකු වූ පසු කාලීනව ක්‍රිකට් ලොව සාර්ථකම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සිය නාමය ස්ථාපිත කර ගත් එංගලන්තයේ හිටපු සුපිරි ක්‍රීඩක Flintoff පවසන්නේ Phil විසින් පාපන්දු වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාව තෝරාගත්තේ නම් ඔහුට ඉතා සාර්ථක ක්‍රීඩකයෙකු වීමට හොඳ අවස්ථාවක් තිබූ බවයි. 

“මම Lancashire කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමේ Phil එක්ක එකට ක්‍රීඩා කළා. ඔහු මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඇත්තටම ඔහු ඒ කාලේ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළා නම් ඔහුට එංගලන්තයේ Sachin Tendulkar හරි නැත්නම් Ricky Ponting හරි වෙන්න තිබ්බා. ඔහු ඒ තරම්ම දක්‍ෂයි.

ඔහු ක්‍රීඩා කරන්න ඇවිත් පිතිකරණය ආරම්භ කරලා හැමදාම වගේ 100 ඒවා වාර්තා කරනවා. ඊට පස්සේ පන්දු යවලා අනෙක් කණ්ඩායමේ සියලුම කඩුලු දවා ගන්නවා. ඔහු ගොඩක් දක්‍ෂ වේගපන්දු යවන්නෙක්.” 

ඒ අනුව ඔහුට Lancashire ක්‍රිකට් සමාජය විසින් ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලබා දී ඇතත් එහි දී ඔහු ඒ වෙනුවට Manchester United සමඟ එක්වී පාපන්දු ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත. 

“ඔහුට Lancashire කණ්ඩායමෙන් ගිවිසුමක් ඉදිරිපත් කළා. මගේ මතකයේ හැටියට අවුරුද්දකට පවුම් 2,500ක වගේ ගිවිසුමක් හෝ එහෙම නැත්නම් Manchester United සමඟ එක්වෙලා පාපන්දු ක්‍රීඩා කරන්න. කොහොම හරි මගේ වාසනාවකට වගේ ඔහු United වෙත ගියා. එහෙම නැත්නම් මට ක්‍රීඩා කරන්න වෙන්නේ Derbyshire හෝ වෙනත් ක්‍රිකට් සමාජයකට.”

කෙසේ නමුත් මෙහි දී ක්‍රිකට් ක්‍රීඩාවත් පාපන්දු ක්‍රීඩාවත් අතරින් එකක් තෝරාගැනීමට සිදුවීම පිළිබඳව අවස්ථාවන් කිහිපයක දීම අදහස් දක්වමින් Phil පවසා ඇත්තේ එය ඔහුගේ ජීවිතය තුළ ලබාගැනීමට සිදු වූ අමාරුම තීරණය වූ බවයි. 

Philගේ සොහොයුරු Manchester Unitedම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙකු වන Gary Neville ද කුඩා කළ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අතර 1992 වසරේ Bolton ක්‍රිකට් ලීග් තරගාවලියේ Hamer Cup ශූරතාවය යටතේ පැවති තරගයක දී පසුකාලීනව ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ ප්‍රබල ආරම්භ පිතිකරුවෙකු බවට පත්වූ Matthew Hayden නොදැවී ලකුණු 140ක් වාර්තා කරගැනීමේ දී ඔහුත් සමඟ Gary විසින් නොදැවී ලකුණු 110ක් ලබාගනිමින් හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් Greenmount කණ්ඩායම එහි අවසාන මහා තරගය කරා රැගෙන යාම ඔහුගේ ක්‍රිකට් දිවියේ කැපී පෙනෙන සිදුවීමකි. 

තවත් කියවන්න;

නමුත් Flintoff පවසා සිටින්නේ ඔහු විශ්වාස කරන අන්දමට Phil තරම් Gary දක්‍ෂ ක්‍රීඩකයෙකු නොවූ බවයි. 

Garyගෙන් ඇහුවොත් නම් ඔහු කියයි ඔහු තමයි මේ ලෝකේ හිටපු දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා.”; Flintoff හාස්‍යජනක ලෙස පැවසීය. 

“ඔහුට Bolton වල වගේ ක්‍රීඩා සමාජවල හොඳ ක්‍රීඩකයෙක් වෙන්න ඉඩ තිබුණා. නමුත් Phil තමයි විශිෂ්ටම ක්‍රීඩකයා. ඒ වගේම ඔහු පුද්ගලයෙක් විදිහටත් හරි හොඳ කෙනෙක්.” 

කෙසේ නමුත් අනතුරුව Phil සහ Gary දෙපළම ක්‍රිකට් ක්‍රීඩාව අතහැර Manchester United සමඟ පාපන්දු ක්‍රීඩා කිරීමට තීරණය කරනු ලැබූ අතර ඒ හරහා ඔවුන් දෙදෙනාට එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි විය.

Gary සිය වෘත්තීය පාපන්දු දිවිය ම Manchester United සමඟ ගත කළ අතර Phil ඔවුන් සමඟ ක්‍රීඩා කළ වසර 11ක කාලය තුළ 1998-99 UEFA Champions League ශූරතාවය, Premier League ශූරතා 6ක් සහ තවත් දේශීය තරගාවලි වල ශූරතා රැසක් දිනා ගැනීමට සමත් වීම ඔහුගේ පාපන්දු දිවිය තුළ කැපී පෙනෙන්නට විය.

විශේෂාංග ලිපි;

2013 වසරේ පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත Phil අනතුරුව පාපන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු ආරම්භ කරනු ලැබූ අතර එහි දී කණ්ඩායම් කිහිපයකම පුහුණුකාර කටයුතුවලට සම්බන්ධව ක්‍රියා කිරීමෙන් අනතුරුව 2018 වසරේ දී ඔහු එංගලන්ත කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය බාර ගනු ලැබීය. 

එහි දී 2019 වසරේ දී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඔවුන් සිය පාපන්දු ඉතිහාසයේ පළමු SheBelieves කුසලාන ජයග්‍රහණය වාර්තා කරගන්නට සමත් වූ අතර අනතුරුව එම වසරේ දී ම පැවති කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය කරා ද ඔවුන් රැගෙන යන්නට Phil සමත් විය. 

කෙසේ නමුත් එම ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් පසුව පැවති තරග 11න් 7ක්ම එංගලන්ත කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ එළඹෙන මාස කිහිපය ඇතුළත Phil සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා වන නමුත් එය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<