FIFA ලෝක කුසලානයට විකිණෙන තරු පන්තියේ නැරඹුම් ස්ථාන

2022 කටාර් පාපන්දු ලෝක කුසලානය

339

කටාර් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වන ප්‍රවේශ පත් අලෙවිය මිලියන 2.45ක් අභිබවා ගොස් තිබිය දී එක් ක්‍රීඩාංගණයක ධනවත් නරඹන්නන්ට ආගන්තුක සත්කාරය කරන කාමර පෙළක් – VIP Hospitality Suite- පවුම් මිලියන 2.1ක විස්මිත මුදලකට විකිණී තිබෙන බව වාර්තා වෙනවා.

ආගන්තුක සත්කාර කරන කාමර පෙළ පවත්වා ගෙන යන්නේ ෆෝමියුලා 1 ධාවන තරගවල දී සුඛෝපභෝගී ආගන්තුක සත්කාර පවත්වා ගෙන යන තරග ආගන්තුක සත්කාරක – Match Hospitality – අංශයයි.

Lusail ක්‍රීඩාංගණයේ ඇති පුද්ගලයින් 44 දෙනෙකුට විනෝද විය හැකි මේ විශාල පෞද්ගලික කාමරය මෙවැනි පුදුමය දනවන මිලකට අලෙවි වී තිබෙන්නේ මාස ගණනාවක් තිස්සේ අතින් අත හුවමාරු වූ ආගන්තුක සත්කාර පැකේජවලින් පසුව බවයි සඳහන් වෙන්නේ.

නම්බුව අතින් මේ ආගන්තුක සත්කාරක කාමර පෙළේ ඉහළින් ම සිටින්නේ  Pearl Lounge. ඉන්පසුව ගෞරවය පිළිවෙළින් Private Suite, Business Seat හා Pavilion සහ Club යන නැරඹුම් කුටිවලට හිමිවෙනවා.

Pearl Lounge යනු ආගන්තුක සත්කාරයේ උත්කෘෂ්ට තත්ත්වය ලෙසින් හැඳින්වෙන ‘තරු හයේ‘ නැරඹුම් කුටියක්. නොමසුරු අලංකාරයේ සුරපුරයක් වන මේ කාමර පෙළ Lusail ක්‍රීඩා පිටියේ මැද රේඛාවට හරියටම ඉහළින් පිහිටා ඇත්තේ තරගයේ හොඳ ම දසුන ලබා දෙමින්. මෙවර තරගාවලියේ අවසාන මහා තරගය පැවැත්වෙන මේ ක්‍රීඩාංගණය Pearl Lounge ආගන්තුක සත්කාරයක් ඇති එක ම ක්‍රීඩාංගණයයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තිබෙන වඩාත් ම සැප පහසු ස්ථානය මෙය යි. එය සුඛෝපභෝගී ක්‍රීඩා ආගන්තුක සත්කාර කතාන්දරයේ පළමු සිතිවිල්ල හා අවසාන වචනය යි,“ Match Hospitality පවසනවා.

Pearl Lounge හි සැපයෙන සේවාවන් අතර six-course ප්‍රණීත ආහාර වර්ග, එසැණින් ආහාර පිළියෙල කෙරෙන live chef stations, තෝරාගත හැකි ෂැම්පේන්, කෝපි හා කොක්ටේල් වර්ග ද වන අතර විශේෂ සමරු ත්‍යාග ද හිමි වෙනවා.

සෑම ක්‍රීඩාංගණයක ම තිබෙන Private Suite ලෝක කුසලාන ‘තරු පහේ‘ ආගන්තුක සත්කාරයේ ඉදිරිපත් කිරීමක්. මෙහි අසුන් ගන්නා ඥානවන්ත පිරිස පෞද්ගලික භෝජන අත්දැකීමකින් සතුටු වන අතර ඊට five-course ආහාර වට්ටෝරුවක්, උසස් වර්ගයේ වයින් සහ තරගයට පෙර, තරගය අතරතුර හා තරගයෙන් පසුව දක්වා දීර්ඝ කෙරුණු සේවාවක් ඇතුළත්ව තිබෙනවා.

Match Hospitalityට අනුව තරග නැරඹීම සඳහා ඔසවන ලද හොඳ දසුනක් සහ ක්‍රීඩාංගණයේ ආසන තෝරා ගැනීමේ ඉතා හොඳ අවස්ථාවක් මේ කුටියෙන් ලැබෙනවා. මීට අමතරව විශේෂ සැමරුම් ත්‍යාගයක් ද මෙහි අමුත්තන්ට පිරිනැමෙනවා.

Lusail ක්‍රීඩාංගණයේ සහ Al Bayt ක්‍රීඩාංගණයේ පිහිටා තිබෙන ‘Business Seat‘ lounges නමැති සුව පහසුවෙන් හාන්සිවී සිටිය හැකි ස්ථානය ‘තරු හතර‘කින් ශ්‍රේණිගත කර තිබෙන අතර එය ‘විශිෂ්ට‘ ලෝක කුසලාන අත්දැකීමක් ලෙස සටහන් කර තිබෙනවා.

මෙහි තිබෙන අංගයන්ට four-course අහර වට්ටෝරු, ඒ වෙලාවේ ම ආහාර පිසෙන ස්ථාන සහ ෂැම්පේන්, මත්පැන්, බියර් සිට කොක්ටේල්ස් හා මොක්ටේල්ස් දක්වා විවිධ බීම ඇතුළත් වෙනවා.

‘තරු තුනේ‘ ආගන්තුක සත්කාරයක් පිදෙන Pavilion ආසන කාමර ද ඇත්තේ Lusail සහ Al Bayt ක්‍රීඩාංගණවලයි.

Match Hospitality විසින් Pavilion නැරඹුම් කුටිය විස්තර කරනු ලබන්නේ ක්‍රීඩාලෝලීන් සඳහා වන Majlis රැස්වන ස්ථානයක් ලෙසින්. Majlis යනු ‘එක දිගට ඉඳගෙන සිටින ස්ථානය‘ හැඳින්වෙන අරාබි පදය යි. නරඹන්නන්ගේ උසස් පරිසරයක්, තරගයේ දර්ශන සහ තරගයට පෙර විශේෂ ක්‍රීඩකයන් මුණගැසීම් Pavilionවලින් ලැබෙනවා.

මේ ස්ථාන ක්‍රීඩාංගණයේ ආරක්ෂක කලාපය තුළ පිහිටි උත්සවාකාර ආගන්තුක ගම්මානයේ ස්ථානගත කර තිබෙන අතර මෙහි අමුත්තන්ට three-course ‘deli-style‘ ආහාර රසවිඳින්න පුළුවන්.

Pavilion හි සිට තරග නරඹන්නන් ට ‘category one‘ තරග ප්‍රවේශ පත්‍රයක් ද ලැබෙනවා.

Club ලෙසින් හැඳින්වෙන තරග නැරඹුම් ස්ථානය Lusail ක්‍රීඩාංගණය සහ Al Bayt ක්‍රීඩාංගණයට යාබදව පිහිටා තිබෙන අතර එය ශ්‍රේණිගතව තිබෙන්නේ ‘තරු දෙකේ‘ ආගන්තුක සත්කාර පිළිගැන්වීමක් ලෙස.

තරගයට පෙර හා පසුව, මෙහි සිටින අමුත්තන්ට අළුත් ම ගෝලීය හා වීදි කෑම පන්නයේ ආහාර රස විඳිය හැකි වෙනවා. මීට අමතරව සිසිල් බීම, වයින් සහ බියර්වලින් ද ඔවුන්ට විනෝද වීමේ අවස්ථාව හිමි වෙනවා.

Club අමුත්තන් සඳහා වන තරග ප්‍රවේශ පත් ‘category one‘ ඒවා වන අතර ඔවුන්ට සමරු ත්‍යාගයක් ද පිරිනැමෙනවා.

මේ අතර මේ දක්වා වන මිලියන 2.45ක ලෝක කුසලාන ප්‍රවේශ පත් අලෙවියේ දී රටවල් අනුව ඉදිරියෙන් සිටින්නේ කටාර්, ඇමරිකාව, එංගලන්තය, සෞදි අරාබිය, මෙක්සිකෝව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ආජන්ටිනාව, බ්‍රසීලය හා ජර්මනිය යි.

‘පළමුව පැමිණෙන්නාට පළමුව ලැබෙන‘ ක්‍රමවේදයට අනුව ජූලි 5 වැනිදා සිට අගෝස්තු 16 දක්වා අන්තර් ජාලය ඔස්සේ පැවති පසුගිය ටිකට් අලෙවියේ දී පමණක් ප්‍රවේශ පත් 520,532ක ප්‍රමාණයක් විකිණී ඇති බවට වාර්තා වෙනවා. වැඩි ම සංඛ්‍යාවක ප්‍රවේශ පත් වෙන්කර තිබුණේ කැමරූන් හා බ්‍රසීලය, බ්‍රසීලය හා සර්බියාව, පෘතුගාලය හා උරුගුවේ, කොස්ට රීකා හා ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව හා ඩෙන්මාර්කය වැනි මූලික වටයේ තරග වෙනුවෙන්. කටාර්, සෞදි අරාබිය, ඇමරිකාව, මෙක්සිකෝව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එංගලන්තය, ආජන්ටිනාව, බ්‍රසීලය, වේල්සය හා ඔස්ට්‍රේලියාව යන රටවල වෙසෙන ක්‍රීඩාලෝලීන් ඩිජිටල් පෝලිමේ පෙරමුණ ගනිමින් ප්‍රවේශ පත් වැඩි ම සංඛ්‍යාවක් මිල දී ගෙන තිබෙනවා.

ජගත් පාපන්දු සම්මේලනයේ ප්‍රවේශ පත් ගිණුමේ එක් තරගයක් හෝ තරග වැඩි ගණනකට ස්ථිර කිරීමක් ලැබී තිබෙන සංචාරක ක්‍රීඩාලෝලීන් දැන් ඔවුන්ගේ නවාතැන් කළින් වෙන්කර ගෙන හැකි ඉක්මනින් ඔවුන්ගේ කටාර් ලෝක කුසලාන සංචාරය සැලසුම් කරන ලෙසටත්, කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩාලෝලීන්ගේ හැඳුනුම් පත වන Hayya සඳහා අයැදුම් කරන ලෙසටත් උපදෙස් දී තිබෙනවා.

අනුමත කරන ලද Hayya අයැදුම් පතක් හා වලංගු තරග ප්‍රවේශ පත්‍රයක් නරඹන්නන්ට ක්‍රීඩාංගණවලට ඇතුළු වීමේ මං විවර කරන අතර එමගින් ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ට කටාර් දේශයට ඇතුළු වීමටත්, තරග දිනවල නොමිලේ පොදු ප්‍රවාහනය ලබා ගැනීමටත්, තවත් නොයෙකුත් වාසි සලසා ගැනීමටත් උපකාරී වෙනවා.

තරගාවලියේ අන්තිම මිනිත්තුවේ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ අදියර සැප්තැම්බර් මාසය අග සිට ආරම්භ වන බැවින් තවමත් තමන්ගේ තරග නැරඹීමේ ආසන වෙන් කරවා ගෙන නැති සහ තමන්ගේ වැඩසටහනට තවත් තරග එකතු කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ක්‍රීඩාලෝලීන් මේ අලෙවිය පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. අන්තර් ජාලය ඔස්සේ සිදුවන මේ අවසන් අදියරේ දීත් ප්‍රවේශ පත් වෙන් කෙරෙනු ඇත්තේ ‘පළමුව එන කෙනාට පළමුව ලැබෙන‘ ක්‍රමවේදයට යි.

පොදු ජනතාවට තරග ප්‍රවේශ පත් මිල දී ගත හැකි එක ම නිල චැනලය FIFA.com/tickets බව නිවේදනය කරන ජගත් පාපන්දු සම්මේලනය බලය නොලත් වෙබ් අඩවිවලින් වැළකී සිටින ලෙසට ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා.

අවසන් මිනිත්තුවේ ප්‍රවේශ පත් අලෙවි කිරීමේ අදියර දියත් වීමෙන් පසුව කවුන්ටරයෙන් ටිකට් අලෙවි කිරීම ද දෝහා අගනුවර දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<