Dialog, 93 වැනි සුලෝහිත සංග්‍රාමය බලගන්වයි

ආනන්ද - නාලන්ද 93 වැනි සුලෝහිත සංග්‍රාමය

141
Dialog powers 93rd Battle of the Maroons

මෙරට ප්‍රධාන බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද සහ නාලන්ද විදුහල් අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් සංග්‍රාමයේ 93 වැනි දිගහැරුම 2023 මාර්තු 4 සහ 5 දෙදින කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ගෝලීය කොරෝනා වසංගත තත්වයත් සමඟ විවිධ සීමා පැනවීම් ක්‍රියාත්මක වූ වසර දෙකක කාලයකට පසුව ප්‍රථම වරට ප්‍රේක්ෂක සහභාගීත්වය සම්බන්ධයෙන් සීමා පනවා නොමැති මෙවර සුලෝහිත සංග්‍රාමය, සුපුරුදු ක්‍රීඩාංගණයේ දී ම විද්‍යාලයීය ආදි සිසුන් සහ වත්මන් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

ඉකුත් වසරේ පැවති සුලෝහිත සංග්‍රාමය නාලන්දයට සුවිශේෂී වූ අතර ඒ අනුව වසර 69කට පසු නාලන්දය වෙනුවෙන් සුලෝහිත සංග්‍රාමයක ජයග්‍රහණය එහි දී ලියැවෙමින් ආචාර්ය එන්. එම් පෙරේරා පලිහ ඔවුන් සතු විය.

මේ අතර දිවංගත පී. ඩී. එස්. කුලරත්න පලිහ වෙනුවෙන් 46 වැනි වරටත් දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය 2023 මාර්තු 12 වැනිදා SSC පිටියේ දී ම පැවැත්වීමට යෙදී

තිබේ. එම තරග ඉතිහාසයේ වැඩි ගෞරවය දිනා සිටින ආනන්ද විදුහල ජයග්‍රහණ 26ක් වාර්තා කර ඇති අතර නාලන්ද විදුහල ජයග්‍රහණ 15ක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

93 වැනි සුලෝහිත සංග්‍රාමය Dialog Television නාලිකා අංක 140, ThePapare.com සහ Dialog ViU app ඔස්සේ ද සජීවීව විකාශය වනු ඇත.

මෙම වසරේ සුලෝහිත සංග්‍රාමයේ දී ආනන්ද කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ තුන්වැනි වසරේ වර්ණලාභී/ දකුණත් වේගපන්දු යවන්නෙකු වන නෙත්ම සමරවීර විසින් වන අතර නාලන්ද කණ්ඩායමේ නායකත්වය දකුණත් පිතිකරුවෙකු සහ සිව්වැනි වසරේ වර්ණලාභියෙකු වන චනුල් අතුකෝරළට පැවරී තිබේ.

ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලයට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් වැඩිම ක්‍රීඩකයන් බිහිකිරීමේ ගෞරවය හිමිවන අතර, මේ දක්වා 55කට අධික ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් පිරිසක් දෙවිදුහල් විසින් මේ දක්වා බිහිකිරීමට සමත්ව ඇත.

නැසීගිය බන්දුල වර්ණපුර මෙන්ම අර්ජුණ රණතුංග, රොෂාන් මහානාම, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් යන ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයන් ඒ අතර වේ.

ඒ අනුව මෙරට පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර නාලන්දාවෙන් බිහිවෙද්දී, 1996 ඓතිහාසික ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකරදුන් නායක අර්ජුණ රණතුංග ආනන්දයෙන් බිහිවීම කැපී පෙනෙයි.

සුලෝහිත සංග්‍රාම දෙදින තරග ඉතිහාසයේ වැඩි ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්ව සිටින ආනන්ද විද්‍යාලය තරග 12ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙන අතර, නාලන්ද විද්‍යාලය තරග 7ක ජයග්‍රහණ වාර්තා කර ඇත. ඒ අතරවාරයේ තරග 73 ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව ඇත.

Dialog Axiata ජාතික ක්‍රිකට්, දැල්පන්දු, වොලිබෝල් සහ Esports කණ්ඩායම්හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන අතර ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ දැල්පන්දු තරගාවලි, පාසල් රග්බි, හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<