දුනිත්, ඉසිත සහ අම්ශි ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

296

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

ඊයේ (15) පැවති පළමු එක්දින තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් තුනක් සිදු කරමින් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජයසුන්දර සහ අම්ශි ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

පළමු තරගයේ අර්ධ ශතයක් රැස් කළ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න, වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක සහ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමගේ ස්ථාන සඳහායි මෙම ක්‍රීඩකයින් කැඳවා තිබෙන්නේ.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් කඩුලු 4ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ ක්‍රීඩකයින්ට සිදු වූ අතර කණ්ඩායම් අතර දෙවැනි තරගය අනිද්දා (18) පැවැත්වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරගය සඳහා නම් කළ සංචිතයේ නායකත්වය සදීර සමරවික්‍රමට හිමිව ඇති අතර අත්දැකීම් බහුල ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද එම සංචිතයට ඇතුළත්.

දෙවැනි එක්දින තරගයට නම් කළ ශ්‍රී ලංකා ‘A’ සංචිතය: සදීර සමරවික්‍රම (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ඉසිත විජයසුන්දර, ප්‍රමෝද් මධුශාන්, දුෂාන් හේමන්ත, අම්ශි ද සිල්වා, කවිෂ්ක අංජුල, ළහිරු උදාර, නිපුන් ධනංජය, සුමින්ද ලක්ෂාන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<