මෙවරත් මාර්තු උන්මාදයේ ආරම්භය සහෝදරයින්ගේ සටනින්

සහෝදරයන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය 2023

404

මෙවරත් අන්තර් පාසල් මහා ක්‍රිකට් සංග්‍රාමය 60 වැනි සහෝදරයන්ගේ සටනත් සමඟින් ආරම්භ වීමට නියමිතයි.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන මෙම සංග්‍රාමය පෙබරවාරි 24 සහ 25 දෙදින පුරා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙරට පැරණිතම අන්තර් පාසල් ක්‍රිකට් තරගයක් වන “සහෝදරයින්ගේ මහා සටන” ආරම්භ වුනේ 1964 දීයි. මෙම සංග්‍රාමයේ දී පාසල් දෙකම “බ්ලැකම් විජේවර්ධන අනුස්මරණ කුසලානය” සඳහා තරග වදින අතර මේ වන විට ඉසිපතන විද්‍යාලය තරග 4ක ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත්ව තිබෙනවා. තරග 6ක ජයග්‍රහණය හිමිකර ගනිමින් පෙරමුණේ පසුවන්නේ තර්ස්ටන් විද්‍යාලයයි.

>>Photos – 60th Battle of the Brothers | Press Conference<<

මහා සංග්‍රාමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (14) පැවති අතර එහි දී කොළඹ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පති ඔශාර පණ්ඩිතරත්න මහතා මෙසේ අදහස් දැක්වූවා.

“මෙවර අන්තර් පාසල් ක්‍රිකට් සංග්‍රාමය ආරම්භ වන්නේ අපේ ක්‍රිකට් තරගයෙන්. අපි මේ ක්‍රිකට් තරගය ඉතාමත් අභිමානයෙන් යුතුව පවත්වන අතර නියමිත නීතිරීති යටතේ අපේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම මෙම තරගයේ මූලික අරමුණ පාසල් දෙක අතර තිබෙන සහෝදරත්වය වර්ධනය කර ගැනීමයි.”

මෙවර ඉසිපතන විද්‍යාලය මෙන්ම තර්ස්ටන් විද්‍යාලය ද මෙහෙයවනු ලබන්නේ මුල්පෙළ ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙක් විසිනුයි. කඩුලු රකින පිතිකරුවෙකු වන ශානික්‍ය දේශප්‍රිය විසින් තර්ස්ටන් විද්‍යාල කණ්ඩායම මෙහෙයවන අතර නවීන් කනිෂ්ක විසින් ඉසිපතන කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

නවීන් මෙවර ඉසිපතන රග්බි කණ්ඩායමේ ද නායකයා වන අතර ඉසිපතන විද්‍යාලයේ එකම වසරක් තුල ක්‍රීඩා දෙකක නායකයා ලෙස කටයුතු කරන දෙවැනි ක්‍රීඩකයා වන්නේ නවීන් වීම සුවිශේෂී කරුණක්.

>> March Madness 2023 <<

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් ප්‍රදීප් නිශාන්ත මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර හේෂාන් තිලකරත්න මහතා තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

මෙම පාසල් ද්විත්වය අතර පවත්වන “ඩබ්. ඒ. ද සිල්වා අභියෝගතා කුසලානය” සඳහා වන 43 වැනි සීමිත පන්දුවාර තරගය එළඹෙන මාර්තු 05 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊට අමතරව ප්‍රියා පරණවිතාන අභියෝගතා කුසලානය වෙනුවෙන් 16 වැනි වරට පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මාර්තු 25 වැනිදා තර්ස්ටන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ගෙවුණු වසර දෙකක කාලය පුරාවට රටේ පැවති අයහපත් තත්වය සහ COVID-19 වසංගත තත්වය නිසාවෙන් මහා තරග නැරඹීමට ප්‍රේක්ෂකයින් හට අවස්ථාව නොලැබුණු නමුත් මෙවර ක්‍රීඩාංගණයට ගොස් තරග නැරඹීමේ වටිනා අවස්ථාව නැවතත් ප්‍රේක්ෂකයින්ට උදා වී තිබීම විශේෂයි.

2019 වසරේ දී මෙම තරග තුනේම ශූරතාවය දිනා ගැනීමට සමත් වුනේ සඳරු ඩයස්ගේ නායකත්වයෙන් සමන්විත වූ තර්ස්ටන් විද්‍යාල කණ්ඩායමයි.

කෙසේ නමුත් 2020, 2021 සහ 2022 වසරවල දී පැවැත්වුණු දෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එහි වැඩි ගෞරවය දිනා ගත්තේ ඉසිපතන ක්‍රීඩකයින් විසිනුයි.

2020 වසරේ දී පැවැත්වුණු එක්දින තරගය ඉසිපතන විද්‍යාලය විසින් ජය ගත් අතර ඉන් අනතුරුව එක්දින තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එසේම 2019 වසරට පසුව විස්සයි විස්ස තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

“අපගේ සහෝදරයින්ගේ සටනට සමගාමීව ආදි ශිෂ්‍ය තරගය, ගුරුවරුන්ගේ තරගය සහ පාසල් දෙකේම සහභාගීත්වයෙන් පැවැත්වෙන පාපැදි සවාරිය ද මෙම පාසල් ද්විත්වය අතර තිබෙන සහෝදරත්වය මනාව පෙන්වන සාධක වෙනවා. කණ්ඩායම් දෙකටම මහා තරගයේ දී හොඳම දස්කම් අතරට එන්නට හැකි වෙයි කියලා මම සුබ පතනවා,” යැයි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පැවසුවා.

මෙවර “60 වැනි සහෝදරයින්ගේ මහා සටන” උදෑසන 9 සිට (ශ්‍රී ලංකා වේලාවෙන්) ThePapare.com වෙබ් අඩවිය, ග් Dialog TV නාලිකා අංක 140 සහ Dialog Viu App ඔස්සේ සජීව ලෙස නැරඹීමේ හැකියාව තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<