ඉතිහාසය අලුත් කරමින් චමරි අංක 1ට!

ICC Player Rankings

682
Chamari Athapaththu

ඊයේ (03) නිමා වූ ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී පිත්තෙන් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි අංක 1 ස්ථානයට පැමිණ තිබෙනවා. 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වූ අතර තරගාවලියේ දී විශිෂ්ට ශතක දෙකක් රැස් කිරීමට සමත් වූ චමරි අතපත්තු විසින් තරගාවලියේ වීරවරිය ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුනා. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගාවලියේ පළමු තරගයේ දී චමරි විසින් ලකුණු 108ක් රැස් කළ අතර, ඊයේ තරගයේ දී ඇය විසින් වේගවත් ලකුණු 140ක් ලබා ගැනීමට සමත් වුනේ සමස්ත තරගාවලියේ දී මුළු ලකුණු 248ක් ලබා ගනිමිනුයි. 

මෙම විශිෂ්ට පිතිකරණය නිසාවෙන් ශ්‍රේණිගත කිරීම් ලකුණු 758ක් සමඟින් මෙතෙක් කල් කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ රැඳී සිටි ඕස්ට්‍රේලියානු පිතිකාරිණී Beth Mooneyව අබිබවා යෑමට චමරි විසින් සමත් වුනා. 

එමෙන්ම මේත් සමඟින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානය හිමි කර ගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වීමට චමරි සමත් වූ අතර එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානය දිනා ගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට ද ඇය සමත් වුනා. 

මීට පෙර 2002 සැප්තැම්බර් සිට 2003 මැයි මාසය තෙක් දින 181ක් තිස්සේ එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි අංක එකේ රැඳී සිටීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක සනත් ජයසූරිය විසින් සමත් වූ අතර, ඉන්පසුව එවැනි දක්ෂතාවක් ප්‍රකට කළ එකම ශ්‍රී ලාංකිකයා ලෙසයි චමරිගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ. 

මීට පෙර පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 7 වැනි ස්ථානයේ රැඳී සිටි චමරි විසින් Harmanpreet Kaur, Meg Lanning සහ Smriti Mandhana වැනි ක්‍රීඩිකාවන් රැසක් අබිබවා යමින් මෙම කඩඉමටඟා වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. 

එමෙන්ම චමරිට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේණිගත කිරීමක අංක එකට පැමිණීමට සමත් වී ඇත්තේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණයි. 

මීට පෙර උදේෂිකා ප්‍රබෝධනී (විස්සයි විස්ස පන්දු යැවීමෙන්) සහ ශෂිකලා සිරිවර්ධන (විස්සයි විස්ස තුන් ඉරියව්) යන අංශ වලින් 2014 වර්ෂයේ දී පෙරමුණ ගැනීමට සමත් වුනා. 

එමෙන්ම මීට පෙර 2010 වසරේ දී දේදුනු ද සිල්වා විසින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී එකොළොස් වැනි ස්ථානය තෙක් පැමිණීමට සමත් වූ අතර චමරිට පෙර ශ්‍රී ලාංකික පිතිකාරිණියක විසින් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හී පෙන්වා තිබූ ඉහළතම දක්ෂතාව වූයේ එයයි. 

චමරිට අමතරව මෙම ශ්‍රේණිගත කිරීම් හි 37 වැනි ස්ථානයේ සිය නම සටහන් කර ගැනීමට කවීෂා දිල්හාරි විසින් සමත් වී ඇති අතර, ඉනෝකා රණවීර පන්දු යැවීමේ අංශයෙන් 18 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<