චමරි මත යැපුණ නවසීලන්ත එක්දින තරගාවලිය

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

320

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ 2-1ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරමින්.

  • පළමු තරගය – ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 9ක ජයක්.
  • දෙවැනි තරගය – නවසීලන්ත කාන්තාවන්ට ලකුණු 116ක ජයග්‍රහණයක්
  • තෙවැනි තරගය – ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 8ක ජයක්.

දෙරට තරග ඉතිහාසයේ නවසීලන්තය මෙරට පැමිණි පළමු අවස්ථාවේ ම ලත් මෙම ජයග්‍රහණය සුවිශේෂී වන අතර එම තරගාවලියේ දී නවසීලන්තයට එරෙහිව ලත් පළමු එක්දින ජයග්‍රහණය සේ ම තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කරමින් ඉතිහාස පොත වර්ණවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වීම ද කැපී පෙනුණා.

මෙම තරගාවලිය ICC කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවට අදාළ ව පැවති අතර තරගාවලියේ ප්‍රතිඵල අනුව මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහි දෙවැනි ස්ථානය දිනා සිටිනවා. එහි පළමු ස්ථානය දිනා සිටින්නේ ඉන්දියාව වන අතර තරගාවලියෙන් අනතුරුව නවසීලන්ත සි‍ව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිතිකාරිණියෝ

තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය ලෙසින් අභිෂේක ලැබීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුන. ඇය නිමා වූ තරග 3 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 248ක්. ඊට ශතක 2ක් සේ ම කිසිදු ලකුණක් ලබා නොගත් ඉනිමක් ද ඇතුළත්. කෙසේ වෙතත් ඇය මෙහි දී ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 248.0ක් ලෙසින් තබා ගැනීමට සමත් වෙනවා.

ඇය ජයග්‍රාහී තරග ද්විත්වයේ ම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවක් ලෙසින් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද අභිෂේක ලබන්නෙ ඇයයි.

නිමා වූ තරගාවලියේ දී නොදැවී ලබා ගත් ශතක 2ත් සමඟින් ඇය එක්දින ජාත්‍යන්තර ශතක 8ක් දක්වා වැඩිකර ගැනීමට සමත් වූවා සේ ම එක්දින තරග ඉතිහාසයේ ලකුණු 3000 සීමාව ඉක්මවා යෑමට ද ඇය සමත් වුනා.

චමරිගෙන් අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කළේ කවීෂා දිල්හාරි. ඇය තරග 3ක එක් ඉනිමක දී පමණක් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 84ක්. ඇය මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ නවසීලන්ත ක්‍රීඩිකාවන් තිදෙනෙක්ට පසුවයි.

ඇයට පෙර ශතකයක් සමඟින් ලකුණු 194ක් ලබා ගත් Sophie Devine, ශතකයක් සමඟින් ලකුණු 167ක් ලබා ගත් Amelia Kerr සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 92ක් ලබා ගත් Suzie Bates මෙම ලැයිස්තුව සරනවා.

කවීෂා මෙම දක්ෂතාව දක්වන්නේ දෙවැනි තරගයේ දීයි. එහි දී ඇය පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා. එය ඇයගේ එක්දින තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුනා.

ශ්‍රී ලංකා පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ ඊළඟ අසුන වෙන් කර ගන්නේ 17 වැනි වියේ පසුවෙන විශ්මි ගුණරත්න. ඇය මෙම තරගාවලියේ දී තම එක්දින තරග 7ක දී වාර්තා කරන ලද මංගල ශතකය ද වාර්තා කිරීමට සමත් වෙනවා.

දෙරට අතර පැවති පළමු තරගයේ දී විශ්මි මෙම දක්ෂතාව දක්වන ලද අතර එම තරගයේ දී ඇය නායිකා චමරි අතපත්තු සමඟින් පළමු කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 159ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වෙනවා. එම සබඳතාව ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද හොඳම සබඳතාව බවටත් පත් වුනා.

ඉහත දැක්වූ ක්‍රීඩිකාවන්ට අමතර ව පිතිකාරිණියක් ලෙසින් නිලක්ෂි ද සිල්වා තරග 3ක දී ලකුණු 54ක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

තරගාවලියේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ

කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් ලැයිස්තුගත කිරීමේ දී තරගාවලියේ පළමු අසුන නවසීලන්ත කණ්ඩායමේ දකුණතින් මද වේගපන්දු යැවූ Lea Tahuhu සතු කර ගත් අතර එහි දෙවැනි අසුන ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන ඕෂදී රණසිංහ සතු කර ගත්තා. ඇය තරග 3ක ඉනිම් 3 දී පන්දුවාර 20ක් යවමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 4ක්.

ඉන් අනතුරුව වමතින් මද වේගපන්දු යැවූ උදේශිකා ප්‍රබෝධනී ශ්‍රී ලංකා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, වමතින් දඟපන්දු යැවූ සුගන්ධිකා කුමාරි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා. ඔවුන් දෙදෙනා ම ලබා සිටි කඩුලු සංඛ්‍යාව 2 බැගින්.

පන්දු යවන්නියන් අතුරින් ඉනෝකා රණවීර ද කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ජයග්‍රහණය හා ශ්‍රී ලංකා කණ්ඩායම

කණ්ඩායමක් ලෙසින් අප මෙම තරගාවලියේ දී ලැබූ ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් ද? නවසීලන්තය වැනි ලෝක ශූර දැවැන්ත දක්ෂතා දක්වන කණ්ඩායමකට එරෙහිව ලැබූ මේ ජයග්‍රහණය ඉතාම සුවිශේෂී ගණයේ ලා හැකි. එහෙත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අනාගතයට එය ම පමණක් ප්‍රමාණවත් නොවන බැව් ලියුම්කරුගේ මතයයි.

නිමා වූ මෙම තරගාවලියේ රුව-ගුණ විමර්ශනය කිරීමේ දී ඒත්තු ගන්වන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක ම ගැලවුම්කාරිය, චමරි අතපත්තු පමණක් ම බවයි. එය කණ්ඩායමක් ලෙසින් ගත් කළ සුවිශේෂී අඩුවක් සේ දකිමු.

ඊට කදිමට උදාහරණ සපයන්නේ තරගාවලියේ දෙවැනි තරගයයි. එම තරගයේ දී චමරිට කිසිදු ලකුණු ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඉලක්කය ලකුණු 330ක්. මෙම තරගයේ දී චමරිගෙන් වූ අඩුව යම් තරමකට හෝ පිරවීමට සමත් වෙන්නේ කවීෂා දිල්හාරි පමණයි.

නමුත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ දී එක් ක්‍රීඩිකාවකගේ දක්ෂතා පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. අඩු ම තරමින් ඇයට සහායට තවත් ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් හෝ ලකුණු 30 සීමාව හෝ පසු කිරීමට සිටියේ නම් මෙම තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ඉඩ තිබුණා. නමුත් අවාසනාවකට මෙන් එවැන්නක් එම තරගයේ දී සිදු වූයේ නැහැ.

කණ්ඩායමක ජයග්‍රහණයක දී සෑම ක්‍රීඩිකාවක් ම එක සේ තම තමන්ගේ යුතුකම් කණ්ඩායම වෙත නොපිරිහෙළා ඉටු කළ යුතුයි. එක් අයෙක් දෙදෙනෙක් දුර්වල වූ වේ නම් අනෙකුත් සියලු දෙනා එක් ව එම තරගය ඉදිරියට ගෙන යා යුතුය. මෙය පිතිකරණයේ දී සේ ම පන්දුකරණයේ දී ද එක සේ අදාළ වෙනවා. එය කණ්ඩායම් ක්‍රීඩාවේ අනන්‍ය වූ ලක්ෂණයක්.

කිසිවෙක්ට තම දක්ෂතා දිගින් දිගට ම එක ලෙසින් ම පවත්වා ගෙන යෑමේ හැකියාවක් නැහැ. ඔවුනුත් දුර්වල වෙන අවස්ථා තිබෙනවා.

එබැවින් එවන් අවස්ථාවක දී හෝ, අනෙකුත් අයත් කණ්ඩායම ගැන සිතා කටයුතු කළ යුතු වෙනවා. “එයාට එහෙම වුනා නම් අපිට කොහොම වෙයි ද?” යන න්‍යායෙන් බැහැර ව තම තමන්ගේ දක්ෂතා කෙරෙහි ද විශ්වාසය තබා කටයුතු කිරීමේ අවස්ථාවන් ප්‍රගුණ කළ යුතුයි.

එසේ නොවන්නේ නම් චමරි අතපත්තුගෙන් පසුව මෙරට කාන්තා ක්‍රිකට් ඉතිහාසයක් නිර්මාණය නොවීමේ වැඩි ඉඩකඩක් විවර විය හැකියි. එසේ වීමේ දී සිදු වෙන්නේ චමරි ද වැඩි පීඩනයකට පත් වීමයි. එබැවින්, ඇයව එවැනි තැනකට පත් නොකළ යුතුය යන්න අපගේ විශ්වාසයයි. කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ද අරමුණ එය ම විය යුතුයි.

මෙම තරගාවලියේ දී ද සුපුරුදු පරිදි චමරි මත ම බර පැටවීමක් අප දුටු අතර වහා එම තත්ත්වයේ වෙනසක් සිදු විය යුතු බැව් අප අවධාරණය කරමු. කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහිව නම් කරන ලද සංචිතය අනුව චමරි මත ම බර පැටවීමේ අවශ්‍යතාවක් මේ කණ්ඩායම තුළ නැති බැව් බැලූ බැල්මට දැක ගත හැකියි.

එමෙන් ම වර්තමානය වෙද්දී ඕනෑ තරම් දක්ෂ යොවුන් ක්‍රීඩිකාවෝ අප වටා සිටිනවා. ඔවුන් සැමගේ යුතුකම විය යුත්තේ කෙනෙක් මත යැපීම නොව විශ්වාසයෙන් යුතුව ලැබෙන තරගවල දී කටයුතු කිරීමයි.

අපිට රටක් ලෙස වඩාත් වැදගත් වන්නේ එම විශ්වාසයයි. එසේ නොමැතිව චමරිගේ දක්ෂතාම අයැද සිටින කණ්ඩායමක් නොවේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 08 වැනිදා සිට කොළඹ පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියේ ද උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට Thepapare.com සූදානම්. රැඳී සිටින්න Thepapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<