ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අභියෝග කරන නවසීලන්ත ක්‍රීඩිකාවෝ

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

230
New Zealand Women's Tour of Sri Lanka 2023

එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් සඳහා සහභාගී වන නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ අවසන්.  

මෙය නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා මෙරටට ආ පළමු අවස්ථාවයි. 

දෙරට ක්‍රීඩිකාවෝ මේ දක්වා එක්දින තරග 10ක දී සහ විස්සයි විස්ස තරග 10ක දී එකිනෙකා හමුවී ඇති අතර ඒ සියලු තරගයක ම ජයග්‍රහණය නවසීලන්ත ක්‍රීඩිකාවෝ සතු කර ගන්නවා. 

තරගාවලි කාලසටහන 

  • පළමු එක්දින තරගයජුනි 27 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
  • දෙවැනි එක්දින තරගය – ජුනි 30 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
  • තෙවැනි එක්දින තරගය – ජූලි 03 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී. 
  • පුහුණු විස්සයි විස්ස තරගය – ජුලි 06 වැනිදා සී. සී. සී. ක්‍රීඩාංගණයේ දී.  
  • පළමු විස්සයි විස්ස තරගය ජූලි 08 වැනිදා පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී. 
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 10වැනිදා පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී. 
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 12 වැනිදා පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී. 

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ 2000 වසරේ දී ශූරතාවත්, 1993 වසරේ දී සහ 2009 වසරේ දී අනුශූරතාවත් දිනා සිටින නවසීලන්ත ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 2009 සහ 2010 වසරවල අනුශූරතාවන් දිනා ගැනීමේ අභිමානයත් සමඟයි මෙරට සංචාරයේ නිරත වෙන්නේ.  

එමෙන් ම මේ වන විට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී එක්දින තරගවල දී නවසීලන්තය 5 වැනි ස්ථානයේත් සහ ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේත් රැඳී සිටින අතර විස්සයි විස්ස තරගවල දී නවසීලන්තය තෙවැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.  

තරගාවලියට සඳහා පැමිණෙන නවසීලන්ත කණ්ඩායම: Sophie Devine (c), Suzie Bates, Bernadine Bezuidenhout, Eden Carson, Isabella Gaze, Maddy Green, Brooke Halliday, Fran Jonas, Amelie Kerr, Leigh Kasperek, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu. 

Sophie Devine  

තුන්  ඉරියව්වෙන් දක්ෂතා දක්වන 33 හැවිරිදි Sophie Devine නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් මෙම තරගාවලිය හා එක් වෙනවා. ඇය මේ දක්වා එක්දින තරග 31කට සහ විස්සයි විස්ස තරග 40කට නායකත්වය දී තිබෙනවා.  

ඒ අතරින් එක්දින ජයග්‍රහණ 11ක්, නොවිසඳුණ තරග 2ක් සහ පරාජිත තරග 18ක් ඇතුළත් වන අතර විස්සයි විස්ස තරගවල දී ජයග්‍රාහී තරග 21ක්, පරාජිත තරග 17ක්, ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් සහ නොවිසඳුණ තරගයක් ලෙසින් ලැයිස්තු ගත වෙනවා.  

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 134කට ක්‍රීඩා කරමින් ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 3330ක් සහ කඩුලු 89ක් එක් කර ගැනීමට ඇය සමත් ව සිටිනවා.  

ශ්‍රී ලංකාව සමඟින් එක්දින තරග 7කට සහභාගී වී ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 107ක් වන අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 7ක් 

විස්සයි විස්ස පිටියේ ඇයගේ දක්ෂතාව තරග 119ක දී ශතකයක් සහ අර්ධ ශතක 17ක් සමඟින් ලකුණු 2969ක් සහ කඩුලු 110ක්. ඊට ශ්‍රී ලංකාවට එරෙහිව තරග 10ක දී ලකුණු 206ක් සහ කඩුලු 6ක් ද ඇතුළත්.  

IPL තරගාවලියට සමගාමීව පැවති කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කළ Sophie Devine අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණා.  

Suzie Bates 

ලෝක එක්දින තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකාරිණියන් අතර සිව්වැනි ස්ථානයේ සිටින්නේ 35 හැවිරිදි දකුණත් පිතිකාරිණි Suzie Bates. ඇය මේ දක්වා එක්දින තරග 148ක ඉනිම් 142කට මුහුණ දෙමින් ශතක 12ක් සමඟින් ලකුණු 5267ක් ලබා සිටිනවා.  

නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සේ ම වැඩිම ශතක ප්‍රමාණයක් රැස් කරගෙන සිටින්නේ ද ඇයයි 

දකුණතින් මඳ වේගපන්දු යවන්නියක් ලෙසින් දක්ෂතා දක්වන ඇය මේ දක්වා ලබා ඇති කඩුලු සංඛ්‍යාව 75ක් 

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 401ක් ද සහ කඩුලු 7ක් දවාගෙන තිබෙනවා.  

විස්සයි විස්ස තරග 143කට මුහුණ දී ඇති ඇය ශතකයක් සමඟින් ලකුණු 3820ක් ලබා සිටින අතර ලබා ඇති කඩුලු සංඛ්‍යාව 55ක්. ඒ අතර එරෙහිව තරග 10ක දී ලකුණු 69ක් සහ කඩුලු 5ක් දවාගෙන තිබෙනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව තරග 10ක ඉනිම් 9ක දී ලකුණු 356ක් රැස් කිරීමට ඇය සමත් තිබෙනවා.  

ඇය නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 76කට සහ විස්සයි විස්ස තරග 64කට නායකත්වය ලබා දෙමින් එම කණ්ඩායම් වැඩිම වාර ගණනක් මෙහෙයවූ නායිකාව බවට ද පත්වුනා 

ඇය එක්දින තරග අවසන් කරන්නේ ජයග්‍රාහී තරග 40ක්, පරාජිත තරග 35ක් සහ නොවිසඳුණ තරගයක් ලෙසින්. විස්සයි විස්ස තරග 64න් ජයග්‍රාහී තරග 39ක්, පරාජිත තරග 24ක්, ලකුණු සමවීමෙන් අවසන් වූ තරගයක් ලෙසින් පෙළ ගැස්වෙනවා.   

Bernadine Bezuidenhout 

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවක් ලෙසින් එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට පිවිසි ඇයගේ මේ වන විට නවාතැන වී තිබෙන්නේ නවසීලන්තයයි. දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක්දින තරග 4ක් සහ නවසීලන්තය නියෝජනය කරමින් එක්දින තරග 9කට සහභාගී වී ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 125ක්.   

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 7ක් සහ නවසීලන්තය නියෝජනය කරමින් තරග 13ක් සමඟින් විස්සයි විස්ස තරග 20කට සහභාගී ඇති ඇය ලබා ඇති ලකුණු සංඛ්‍යාව 44ක් 

Eden Carson 

21 වැනි වියේ පසුවන ඇය නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ දකුණතින් පිට දඟ පන්දු යවන්නියක් ලෙසයි. එක්දින තරගයක දී කඩුලු 3ක් සහ විස්සයි විස්ස තරග 12 දී කඩුලු 17ක් ඇය සතුයි.  

Isabella Gaze 

19 වැනි වියේ පසුවන ඇය කණ්ඩායමට එක් වෙන්නේ කඩුලු රකින්නියක සහ පිතිකාරිණියක ලෙසයි. මේ දක්වා එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 10ක අත්දැකීම් සපිරි ක්‍රීඩිකාවක්.  

Maddy Green 

30 හැවිරිදි වියේ පසුවෙන මැද පිතිකාරිණියක ලෙසින් දක්ෂතා දක්වන Maddy Green මේ දක්වා එක්දින තරග 58ක දී ශතකයක් සමඟින් ලකුණු 1089ක් සහ විස්සයි විස්ස තරග 78ක දී ලකුණු 801ක් ලබා සිටී. අවශ්‍ය අවස්ථාවක පන්දු යැවීමේ ද දක්ෂතා දක්වයි.  

Brooke Halliday 

27 හැවිරිදි වියේ පසුවෙන Brooke Halliday තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙසින් නවසීලන්ත කණ්ඩායම හා එක් වෙනවා. ඇය මේ දක්වා එක්දින තරග 20ක් සහ විස්සයි විස්ස තරග 16කට සහභාගී වී ඇති ක්‍රීඩිකාවක්.  

Fran Jonas 

19 හැවිරිදි වියේ පසුවෙන Fran Jonas වමතින් දඟපන්දු යවන්නියක ලෙසින් කණ්ඩායමට එක් ව ඇති අතර මේ දක්වා එක්දින තරග 11ක දී කඩුලු 8ක් සහ විස්සයි විස්ස තරග 15ක දී කඩුලු 14ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.  

Amelie Kerr 

නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම සහ එක ම ද්විත්ව ශතකය මෙන් ම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමේ අභිමානය දරා සිටින්නේ Amelie Kerr.  

2018 වසරේ දී අයර්ලන්තයට එරෙහිව පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 31ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 232ක් ලබා ගනිමින් ඇය මෙම දක්ෂතාව දක්වනවා.  

තවමත් 22 හැවිරිදි වියේ පසුවෙන මෙම දකුණත් පිතිකාරිණිය මේ දක්වා එක්දින තරග 59ක ඉනිම් 48ක දී ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 1362ක් ලබා සිටිනවා. විස්සයි විස්ස පිටියේ ඇයගේ දක්ෂතාව තරග 59ක ඉනිම් 41ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 657ක්. 

පන්දු යවන්නියක් ලෙසින් ද දක්ෂතා දක්වන ඇය මේ දක්වා එක්දින කඩුලු 77ක් සහ විස්සයි විස්ස කඩුලු 58ක් ද දවා ගෙන තිබෙනවා 

Leigh Kasperek 

31 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟපන්දු යවන Leigh Kasperek නවසීලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ වසර ද්විත්වයකට පසුවයි. ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 39කට ක්‍රීඩා කරමින් කඩුලු 65ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 46කට ක්‍රීඩා කරමින් කඩුලු 75ක් ලබා සිටින ක්‍රීඩිකාවක්.  

2015 වසරේ දී ශ්‍රී ලංකාව සමඟ තරග ත්‍රිත්වයකට ක්‍රීඩා කර ඇති ඇය ලබා ඇති කඩුලු සංඛ්‍යාව 5ක් 

Rosemary Mair 

24 හැවිරිදි වියේ පසුවෙන Rosemary Mair දකුණතින් මඳ වේග පන්දු යවන්නියක ලෙසින් නවසීලන්ත කණ්ඩායම හා එක් ව ඇති අතර මේ දක්වා එක්දින තරග 16ක සහ විස්සයි විස්ස තරග 19ක් අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක්.  

Molly Penfold 

24 හැවිරිදි වියේ පසුවන Molly Penfold ද කණ්ඩායම හා එක් වෙන්නේ දකුණත් මඳ වේග පන්දු යවන්නියක ලෙසයි. එක්දින තරග පිටියේ තරග 5ක් සහ විස්සයි විස්ස තරග 2කට පමණක් සහභාගී වූ ක්‍රීඩිකාවක්.  

Georgia Plimmer 

මැදපෙළ පිතිකාරිණියක් ලෙසින් නවසීලන්ත කණ්ඩායමට එක්ව ඇති Georgia Plimmer මේ දක්වා එක්දින තරග 3ක සහ විස්සයි විස්සයි තරග 13කට පමණක් සහභාගී වූ ක්‍රීඩිකාවක්.  

Hannah Rowe 

26 වැනි වියේ පසුවෙන දකුණතින් මඳ වේගපන්දු යවන Hannah Rowe මේ දක්වා එක්දින තරග 44ක දී කඩුලු 45ක් සහ විස්සයි විස්ස තරග 35ක දී කඩුලු 18ක් ලබා ඇති ක්‍රීඩිකාවක්. යටි පෙළින් පන්දුවට පහර දෙන්නට පිවිසෙන ඇය තරමක් විශ්වාසවන්ත පිතිකාරිණියක් ලෙසින් ද හැඳින්විය හැකියි.  

Lea Tahuhu 

නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලබා ගත් පන්දු යවන්නියයි. 32 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේගපන්දු යවන ඇය මේ දක්වා තරග 84කට එක් වෙමින් කඩුලු 94ක් ලබා සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇයගේ දක්ෂතාව තරග 5ක දී කඩුලු 8ක් පමණයි.   

විස්සයි විස්ස තරග 75ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 72ක්. ඉන් කඩුලු 7ක් ශ්‍රී ලංකාවට එරෙහිව දවා ගන්නා ලද අතර ඒ සඳහා ඇය සහභාගී වී ඇති තරග සංඛ්‍යාව 6ක් 

ශ්‍රී ලංකාව – නවසීලන්ත කාන්තා ක්‍රිකට් තරගාවලි ද්විත්වයේ සියලු තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<