භානුක ඇතුළු Punjab හමුවේ පෙරමුණේ සිටින Gujarat මෙල්ල වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2279
 

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 48 වැනි තරගය මුම්බායි හි DY Patil ක්‍රීඩාංගණයේ දී ඊයේ (3) ක්‍රියාත්මක වුනා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Gujarat Titans සහ Punjab Kings කණ්ඩායම් අතර පැවති එම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් දිනා ගැනීමට Punjab කණ්ඩායම සමත් වුනා.

Kagiso Rabadaගේ සුපිරි පන්දු යැවීමත්, භානුක රාජපක්ෂ හා Shikhar Dhawan එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 59කින් ගොඩනැංවූ ලකුණු 87ක සබදතාවයත් මේ තරගය ජය ගැනීම සඳහා Punjab කණ්ඩායමට විශාල ශක්තියක් වුනා.

තරගය ජය ගැනීම සදහා හිමි වූ ලකුණු 144ක ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සිටිය දී පසු කර යාමට Punjab සමත් වුණේ පන්දුවාර 16ක් පමණක් වැය කරමින්. Jonny Bairstow මෙම තරගයේ දී ඉනිම ආරම්භ කළ නමුත්, ඔහු යළිත් අසාර්ථක වෙමින් එක් ලකුණකට දැවී ගියා.

ආරම්භක පිතිකරු Dhawan මෙවර තරගාවලිය තුල ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 53කින් නොදැවී ලකුණු 62*ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා. එක් හයේ පහරක් හා හතරේ පහර 8ක් ඔහුගේ සුපිරි ඉනිමට ඇතුළත්.

Dhawan හට අනගි සහායක් ලබා දෙමින් අනෙක් අන්තයේ පීඩනය පාලනය කර ගත් භානුක පන්දු 28කින් වේගවත් ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුනේ හයේ පහරක් හා හතරේ පහර 5ක් එල්ල කරමින්.

භානුකගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි දකුණත් පිතිකරු Liam Livingstone පන්දු 10ක් පමණක් වැය කරමින් නොදැවී වේගවත් ලකුණු 30*ක් වාර්තා කිරීම කැපී පෙනුණා. ඔහුගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වුනු අතර එහි දී වේගපන්දු යවන ක්‍රීඩක Mohammed Shamiට එරෙහිව Livingstone එල්ල කළ එක් හයේ පහරක් මීටර් 117ක් දුරට ඇදී යමින් ක්‍රීඩාංගණයෙන් ඉවතට ඇදී යාම බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයට යොමු වූ සිදුවීමක් බවට පත් වුනා.

එම හයේ පහර මෙවර IPL තරග වාරයේ දී මේ දක්වා ක්‍රීඩකයෙක් එල්ල කළ දැවැන්තම හයේ පහර වීම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි හා ලොකී ෆර්ගසන් එක් කඩුල්ල බැගින් බිද හෙළුවා.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පළමුව පන්දුවට පහර දුන් Gujarat කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු ලකුණු 143ක් රැස්කර ගත්තා. කඩුලු රකින පිතිකරු Wriddhiman Saha ලකුණු 21කට දැවී ගිය අතර 20 හැවිරිදි Sai Sudharsan පන්දු 50ක් තුල නොදැවී ලකුණු 65ක් වාර්තා කළේ 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී Kagiso Rabada ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් සුපිරි පන්දුකරණයක නිරත වුනා.

මෙම තරග ජයත් සමඟ දැනට IPL ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Punjab කණ්ඩායමට හැකියාව ලැබුණු අතර ඔවුන් මේ දක්වා සහභාගී වී තිබෙන තරග 10න් තරග 5ක් ජයගෙන තිබෙනවා.

Gujarat Titans – 143/8 (20): Sai Sudharsan 65*, Wriddhiman Saha 21, Kagiso Rabada 4/33

Punjab Kings – 145/2 (16): Shikhar Dhawan 62*, Bhanuka Rajapaksa 40, Liam Livingstone 30*.

තරගයේ වීරයා – Kagiso Rabada

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<