“කවුරුවත් හිතුවේ නැහැ අපි දිනාවි කියලා” චමරි අතපත්තු

ICC Women's T20 World Cup 2023

3932

මෙතෙක් ඉතිහාසයේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් ක්‍රීඩා කළ තරගයක් නැරඹීමට පැමිණි වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණය ඊයේ (10) දකුණු අප්‍රිකාවේ Newlands ක්‍රීඩාංගණය වෙත පැමිණ තිබූ නමුත්, ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුනුවිසුනු කර දැමූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාව පරාජය කර ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

එම ජයග්‍රහණය වාර්තා කිරීමට පෙර දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එකිනෙකා ක්‍රීඩා කර තිබූ විස්සයි විස්ස තරග 13න් තරග 3ක් පමණක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබූ අතර, මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුනේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වෘත්තිය ව්‍යුහයක් නොමැති බවයි.

නමුත් මේ සියල්ල නොතැකූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවස තමන්ගේ දවස බවට පත්කර ගැනීමට සමත් වුනේ මෙවර කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක දේශය පළමු තරගයේ දී ම පරාජයට පත් කරමිනුයි.

2016 දී සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ජීවිතයේ පළමු අර්ධ ශතකය දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළ චමරි අතපත්තු වසර 13ක සිය ක්‍රීඩා ජීවිතයේ බොහෝ තරගවල දී කළාක් මෙන් ඊයේ තරගයේ ද බර කරට ගනිමින් සිය හය වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

මීට දින තුනකට පෙර ESPN cricinfo වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින් මෙවර තරගාවලියේ දිගම හයේ පහර එල්ල කිරීමට අවශ්‍ය බව චමරි පවසා තිබුණු අතර, ඊයේ එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට ඇයට හැකියාවක් නොලැබුනත්, අතිශය අලංකාර හතරේ පහර 12ක් සිය ලකුණු 68 සඳහා එකතු කර ගැනීමට ඇය සමත් වුනා.

එමෙන්ම සිය ඉනිම ගොඩ නංවන අතරේ ම තවමත් වයස අවුරුදු 17ක් පමණක් වන විශ්මි ගුණරත්නට ද මග පෙන්වමින් ලකුණු 86ක විශිෂ්ට සබඳතාවක් ගොඩ නංවමින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ද සමත් වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි චමරි විසින් තම පිතිකරණ සහයිකා විශ්මිව හඳුන්වා දුන්නේ “දිදුලන අනාගතයක් ඇති තරුණ සුපිරි තාරකාවක්” ලෙසිනුයි.

“මම ඇයට කිව්වේ පන්දු යවන්නා කවුද කියලා නො හිත පන්දුවට අවධානය ලබා දෙන්න කියලා. ඇය දැනගෙන හිටියා Shabnim (Ismile) කියන්නේ ලෝක අංක එකේ පන්දු යවන්නා කියලා, නමුත් ඇය හතරේ පහරක් එල්ල කළා. ඒ වෙලාවේ මම කිව්වා ‘ඔයා ලෝකේ අංක එකේ පන්දු යවන්නට ඒ පාර ගැහුවේ, ඔයාට මේ පන්දු වාරයේ තව හතරක් ගහන්න පුළුවන්’ කියලා. එයා දෙවැනි හතරත් ගැහුවාට පස්සේ මම ඇයට කිව්වා ‘ඔයා ඇත්තටම හොඳයි, ලෝකේ අංක එකේ පන්දු යවන්නාටත් වඩා හොඳයි, ඉතින් ඔයාට තව හතරක් ගහන්න පුළුවන්කියලා.

ඇය ගොඩක් ම තරුණයි, Shabnim පන්දු යවද්දී ඇය හිතන්නේ මේ අංක එකේ පන්දු යවන්නා නේද කියලා. නමුත් මට අවශ්‍ය වුනේ ඇයගේ පීඩනය ලිහිල් කරන්නයි. ඒ නිසා මම ඇය සමග නිතරම කතා කළා.”

එමෙන්ම එම මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ චමරි සිය පන්දු රැකීම තවත් දියුණු කර ගත යුතු බව ද අවධාරණය කළා. එමෙන්ම තරගය අවසන් පන්දුවාරය තෙක් ඇදී යමින් ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් අවසාන වුනා.

ඒ පිළිබඳව ද චමරි මේ විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා,

” මම පීඩනයට කැමතියි, අපිට ඉන්නේ අත්දැකීම් සහිත ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක් විතරයි. ඒ නිසා මම නිතරම උත්සාහ කරන්නේ ඔවුන්ට ඉදිරියෙන් සිටිමින් නායකත්වය දෙන්න. අපිට මේ පරිසරය ඇතුළේ කිසිම පීඩනයක් තිබුණේ නැහැ.”

දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලිය ආරම්භයේ දී ම ලද මේ පරාජය මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔවුන්ගේ ගමන් මග පිළිබඳ යම් සැකයක සේයාවක් මතු කරනවා.

දකුණු අප්‍රිකාවට ඊයේ තරගයෙන් පසුව තවත් තරග තුනක් ඉතිරිව පවතින අතර ඉන් තරග දෙකක් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ නිත්‍ය අවසන් පූර්ව නියෝජනයක් බවට බලාපොරොත්තු තබා ඇති ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් හමුවේ දකුණු අප්‍රිකාව තවත් පරාජයක් ලද හොත් එය ඔවුන්ගේ ලෝක කුසලාන සිහින බොහෝ දුරකට අවසන් කරනු ඇත.

එමෙන්ම දෛවෝපගත ලෙස මීට වසර 20කට පෙර (2003 පෙබරවාරි 9) දකුණු අප්‍රිකාවේ පැවැත්වුණු එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ (පිරිමි) පළමු තරගය දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වුණු අතර එහි දී ද දකුණු අප්‍රිකානු කණ්ඩායමට පරාජය වීමට සිදු වූ අතර, එම පරාජය ද දකුණු අප්‍රිකාවේ ලෝක කුසලානය සිහින බොඳ වී යාමට විශාල හේතුවක් වුනා.

මේ අතර මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම ඔවුන්ගේ නිත්‍ය නායිකා Dane Van Niekerk හට යෝග්‍යතා පරීක්ෂණයක් අසමත් වීම නිසා මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගිය අතර (2KM දුර විනාඩි 9 තත්පර 30න් දිවීමට අසමත් වීම නිසා) එය තරමක් මතභේදයට තුඩු දුන් සිදු වීමක් ද වුනා.

එමෙන්ම ඊයේ තරගය පැවැත්වුණු ක්‍රීඩාංගණයේ ම මීට පෙර ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මුණ ගැසුණු අවස්ථාවේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරගය ජයග්‍රහණය කර වීමේ වගකීම තනිව භාර ගත් (පන්දු 55කින් ලකුණු 71ක් එදා ඇය රැස් කළා) Van Niekerk හට ඊයේ දකුණු අප්‍රිකාව ලද තීරණාත්මක පරාජය විස්තර විචාරක කුටියේ සිට විස්තර විචාරක භූමිකාවට පණ පොවමින් බලා සිටීමට සිදු වීම ද දෛවෝපගත ගත සිදුවීමක්.

මේ අතර ශ්‍රී ලංකාව ලද මෙම වටිනා ජයග්‍රහණයෙන් අනතුරුව තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමරි අතපත්තු පැවසුවේ කිසිවකු හෝ ශ්‍රී ලංකාව මෙම තරගය ජයග්‍රහණය කරාවි යැයි බලාපොරොත්තු නොවූ බවයි.

“කවුරුවත් හිතුවේ නැහැ ශ්‍රී ලංකාව දිනාවි කියලා, හැමෝම හිතුවේ ශ්‍රී ලංකාවට කියන්නේ සාමාන්‍ය ක්‍රීඩිකාවන් ඉන්න සාමාන්‍ය කණ්ඩායමක් කියලයි. ඉතින් අපි පරාද වුනොත් ඒක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිට කිසිම පීඩනයක් තිබුණේ නැහැ. මම මගේ ක්‍රීඩිකාවන්ට කිව්වේ තමන්ගේ දක්ෂතාවයන් විශ්වාස කරලා බය නැතුව ක්‍රීඩා කරන්න කියලයි.”

මෙවර කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ මීළඟට ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගය හෙට ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රි 10.30ට බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

මෙවර කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<