Jadeja පන්දුව පළුදු කළා ද?

Border - Gavaskar Trophy 2023

375

ඊයේ (09) ආරම්භ වූ Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ඕස්ට්‍රේලියානු ඉනිම අතරතුර ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravindra Jadeja විසින් පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට පවසමින් සමාජ මාධ්‍ය වල වීඩියෝ පටයක් හුවමාරු වනවා.

නමුත් තරගයෙන් අනතුරුව තරග තීරක හමුවීමට ගිය ඉන්දීය නායක Rohit Sharma සහ Ravindra Jadeja එවැනි යමක් සිදු නොවූ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ සවස් කාලයේ පටන් සමාජ මාධ්‍යවල හුවමාරු වීමට පටන් ගත් මෙම වීඩියෝ පටයේ Ravindra Jadeja විසින් පසෙකින් පන්දු රකිමින් සිටි Mohammed Siraj අතින් යම් ද්‍රව්‍යයක් සිය දකුණතට ගෙන එය සිය වම් අතේ ඇඟිල්ලක ආලේප කරන අයුරු දැක්වුණා.

ඔහු කිසි විටක එය පන්දුවේ ආලේප කරන බවක් එම වීඩියෝවේ නොපෙනුනත්, පන්දුව රඳවා ගත් වම් අතේ ඇඟිලි පිරිමදිමින් සිටින ආකාරය වීඩියෝවෙන් දකින්නට ලැබෙනවා.

මෙය සිදු වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 120ක් ලබා සිටි අතර, ඒ වන විටත් බිඳ වැටී තිබූ ඕස්ට්‍රේලියානු කඩුලු 5න් තුනකට ම වග කියා තිබුණේ Jadeja විසිනුයි. (Marnus Labuschagne, Matt Renshaw සහ Steven Smithගේ කඩුලු)

පළමු දිනය නිමා වීමත් සමඟ ඉන්දීය කණ්ඩායම් කළමනාකරු සහ නායක Rohit Sharma සමඟ තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ Andy Pycroft හමුවීමට ගිය Jadeja විසින් ඒ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කර ඇති බව ESPN වෙබ් අඩවිය වාර්තා කරනවා.

Jadeja විසින් සිය පන්දු යවන වම් අතේ ඇඟිලිවල වේදනා නාශක ආලේපනයක් ගල්වන අයුරු වීඩියෝ පටයේ සටහන් වී ඇති බවයි ඔවුන් තරග තීරක වෙත සඳහන් කර ඇත්තේ.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයා ද Jadejaට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද ඒ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් සිදු කර නොමැති බව දැන ගන්නට ලැබෙනවා.

නමුත් එවැනි සිදුවීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා තරග තීරක වෙත පැමිණිලි ලැබීම අනිවාර්යය නොවන අතර, ක්‍රිකට් ක්‍රීඩාවේ නීති අනුව නම් පන්දු යවන්නකු විසින් යම් දෙයක් සිය අත්වල ආලේප කිරීමට ප්‍රථම තරග විනිසුරු ගේ අනුමැතිය ලැබීම අනිවාර්යය වනවා.

එමෙන්ම මෙම සිදුවීම මේ වන විටත් සමාජ මාධ්‍ය වල උණුසුම් කතා බහක් ද නිර්මාණය කර තිබෙනවා.

ආබාධයක් නිසා මාස පහක් පුරාවට ක්‍රීඩාවෙන් ඈත් ව සිටි Jadeja ඊයේ දිනයේ සිය නැවත පැමිණීම සටහන් කළේ ලකුණු 177කට බිඳ වැටුණු ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගනිමිනුයි.

ඉන්දු – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 77ක් රැස් කර ගෙන සිටියා.

Border – Gavaskar තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<