ක්‍රිකට් අභ්‍යාවකාශ ගත කිරීමට ඇමරිකාවෙන් සැලසුම්!

Major League Cricket 2023

408

ඇමරිකා එක්සත් ජනපදය විසින් නවතම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් (Major League Cricket – MLC නමින්) ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර, එහි ආරම්භය මෙම වසරේ මාර්තු 19 වැනිදා ඇමරිකාවේ හූස්ටන් හී පිහිටි NASA අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී සිදු වනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය මගින් අණාවරණය කරනවා.

මෙම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් යුතුව දින 18ක් පුරාවට පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති අතර, එම කණ්ඩායම් ඇමරිකාවේ New York, Washington DC, Dallas, San Francisco, Los Angeles සහ Seattle යන ප්‍රදේශ පාදක කර ගනිමින් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැන ගන්නට ලැබෙනවා. එමෙන්ම මෙම තරගාවලියේ සියලු තරග ඇමරිකාවේ  Dallas සහ Morrisville හී දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආරම්භ MLC තරගාවලියේ දී සෑම කණ්ඩායමකට ම තරග පහක් ක්‍රීඩා කිරීමට සිදු වන අතර, කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් මිල දී ගැනීමට එක් කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් 750,000ක මුදලක් (ILT20 සහ SA20 තරගාවලිවල කණ්ඩායම්වලට ලැබුණු මුදලට ආසන්න අගයක්) හිමි වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙහි දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල ප්‍රබල ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී කර ගැනීමේ බලාපොරොත්තු සහිතව ඔවුන් තරගාවලිය සඳහා සැලසුම් සකසා තිබෙනවා.

“ඇමරිකා එක්සත් ජනපදයේ දක්ෂ දේශීය ක්‍රීඩකයින් සමඟ ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට විස්සයි විස්ස ක්‍රීඩකයින් සහභාගී කර ගනිමින් ආරම්භක Major League Cricket තරගාවලිය පැවැත්වීමට නියමිතයි. එක්සත් ජනපදයේ දී මින් පෙර කිසිදා අත්විඳ නොමැති අත්දැකීමක් MLC මගින් හිමි වනු ඇත.

මාර්තු 19 දින හූස්ටන් හී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් මෙහි එන තෙක් බලාපොරොත්තු සහගත ව බලා සිටිනවා.”

MLC තරගාවලියේ අධ්‍යක්ෂක Justin Geale විසින් සිය ඉදිරි සැලසුම් පිළිබඳ එසේ අණාවරණය කර තිබුණා.

තරගාවලියේ දී එක් තරගයක් සඳහා කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු සහභාගී කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති අතර, ඇමරිකාව විසින් මීට පෙර විවිධ රටවලින් තෝරා ගෙන සිය රටේ ස්ථිර පදිංචිය ලබා දුන් ඇන්ජලෝ පෙරේරා, Corey Anderson, Sami Aslam, Unmukt Chand, Liam Plunkett වැනි අය දේශීය ක්‍රීඩකයින් ලෙස තරගාවලියට එකතු වනු ඇත.

එවැනි දේශීය ක්‍රීඩකයින් 15කට අධික ප්‍රමාණයක් දැනටමත් ඇමරිකාව සතු වන අතර තවත් දේශීය විස්සයි විස්ස තරගාවලියක් පවත්වා ඉන් දස්කම් දක්වන ක්‍රීඩකයින් ද මෙම තරගාවලියට එක් කර ගැනීමට තරගාවලි සංවිධායකයින් බලාපොරොත්තු වනවා.

MLC තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<