මෙන්ඩිස්ලා සමඟ එක් වූ වෙල්ලාලගේ ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය ලබා දෙයි

Sri Lanka tour of England 2026

6
Sri Lanka tour of England 2026

කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස් හා එක් ව ගෙන ගිය සටන්කාමී ඉනිමත්, දුනිත් වෙල්ලාලගේ ගේ ආක්‍රමණකාරී පන්දු යැවීමත් හමුවේ සත්කාරක එංගලන්ත ක්‍රීඩකයන්ට එරෙහි ව 2 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූවා.

ඒ අනුව එංගලන්තය සමඟින් පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මෙම තරගය Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී (24දා) දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැතියා.

>>ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද සිට…<<

ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරගයක දී එංගලන්තයේ දී එංගලන්ත කණ්ඩායමක් පරාජය කරන්නේ වසර 7කට පසුව වන අතර ඔවුන් අවසන් වරට එංගලන්ත කණ්ඩායමක් පරාජය කර තිබෙන්නේ 2019 වසරේ මෙම ක්‍රීඩාංගණයේ දී වීමත් විශේෂත්වයක්.

ඒ අනුව 2002 වසරෙන් පසුව ගෙවී ගිය වසර 24 දී මෙම ක්‍රීඩාංගණයේ දී එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පරාජය කිරීමට ඉඩ ලැබී නැහැ.

>>ශ්‍රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි<<

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 321ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් පමණයි.

ශ්‍රී ලංකාව මෙම තරගය හා එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමිනුයි.  ඒ අනුව පෙර තරගය හා එක් ව සිටි දුශ්මන්ත චමීර වෙනුවට ඒශාන් මාලිංග මෙම තරගයට කැඳවා තිබුණා. එංගලන්තය සුපුරුදු කණ්ඩායම ම යොදා ගනිමින් මෙම තරගයට එක් වූවා.

ශ්‍රී ලංකා කණ්ඩායම

 

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්,  පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, සචිඳු කොළඹගේ, ඒශාන් මාලිංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

 

එංගලන්ත කණ්ඩායම

 

Harry Brook (නායක), Tom Banton, Ben Duckett, Joe Root, Jos Buttler (කඩුලු රකින්නා), Will Jacks, Rehan Ahmed, Gus Atkinson, Jamie Overton, Jofra Archer සහ Josh Tongue.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් අඩු වේගයකින් වූවත් සාර්ථක ලකුණු සබඳතාවක් එක් කර දීමට පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 55ක දී ලකුණු 45ක් තම කණ්ඩායමට එක් කරනවා.

එම සබඳතාව බිඳ වැටෙන්නේ පැතුම් නිස්සංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව පිටියට එක් වෙන්නේ නායක කුසල් මෙන්ඩිස්. ඔහු හිටපු උප නායක කමිඳු මෙන්ඩිස් හා එක් වෙමින් පන්දු 91ක දී 2 වැනි කඩුල්ලට ශතක සබඳතාවක් එක් කරනවා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා ම තම අර්ධ ශතක වාර්තා කරගෙන තිබුණා.

පන්දු 120කින් ලකුණු 137ක් එක් වූ එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කමිඳු මෙන්ඩිස් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යන විට පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා. එය ඔහුගේ ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ සිව් වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව කුසල් මෙන්ඩිස් සහ පවන් රත්නායක එක් ව පන්දු 40ක දී ලකුණු 40ක්, 3 වැනි කඩුල්ලට එක් කරමින් සිටිය දී පරිස්සම් විය යුතු යැයි පැවැසෙන ලකුණු 222 දී එම සබඳතාව බිඳ වැටෙනවා.

ඊට ගොඳුරු වෙන්නේ නායක කුසල් මෙන්ඩිස්. ඔහු ඉනිම හැර යද්දී පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 121ක් ලබා සිටියා. තමන් මුහුණ දුන් 82 වැනි පන්දුවේ දී තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 7 වැනි ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් එම දක්ෂතාව සිදු කරන්නේ ඉනිම 10කට පසුව වීම විශේෂත්වයක්.

එමෙන් ම කුසල් මෙන්ඩිස් ගේ මෙම ශතකය එංගලන්තට එරෙහි ව එරට දී ශ්‍රී ලංකා පිතිකරුවෙක් වාර්තා කරන්නේ වසර 11කට පසුව වීමත් විශේෂත්වයක්. අවසන් වරට එංගලන්තයට එරෙහි ව එංගලන්තයේ දී මීට පෙර ශතයක් වාර්තා කර තිබුණේ කුමාර් සංගක්කාර 2015 වසරේ දී යි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සිව් වැනි කඩුල්ලට චරිත් අසලංක පන්දු 28ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී යන අතර, ඉනිමේ 5 වැනි කඩුල්ලට පවන් රත්නායක දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.

ඒ වෙද්දී පවන් රත්නායක සහ ජනිත් ලියනගේ එක් ව එම කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 46ක සබඳතාවක් ද එක් කර තිබුණා. අනතුරු ව ඉනිම් අවසන් දැවී ගිය පිතිකරු බවට පත් වෙන්නේ ජනිත් ලියනගේ. ඔහු ඉනිම අවසන් වීමට තවත් පන්දු 10ක් තිබිය දී දැවී යද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා. ඔහු දුනිත් වෙල්ලාලගේ හා එක් ව එම කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 30ක් ද එක් කර තිබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර අවසන් වෙද්දී දුනිත් වෙල්ලාලගේ පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ සචිඳු කොළඹගේ පන්දු 4ක දී නොදැවී ලකුණු 3ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Rehan Ahmed සහ  Gus Atkinson කඩුලු ද්විත්වය බැගින් බෙදා ගෙන තිබූ අතර Jofra Archer ද කඩුල්ලක් දවා ගත්තා.

පන්දුවාරයකට 6.44ක දළ ලකුණු වේගයක් අවැසි පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවෝ තම පළමු පන්දුවාර 10 අවසන් කරන්නේ කිසිදු කඩුල්ලක් ලබා නොදී ලකුණු 8.2ක වේගයක් පවත්වාගෙන යමිනුයි.

Tom Banton සහ Ben Duckett එක් ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට භීෂණය කැන්දූ එම පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 118ක දී ලකුණු 143ක්.

ඉනිමේ ක්‍රියාත්මක 20 වැනි පන්දුවාරය යැවූ දුනිත් වෙල්ලාලගේ ගේ පන්දුවක් කෙළින් ම කඩුල්ලේ ගැටීමෙන් Ben Duckett ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 10 වැනි අර්ධ ශතකයයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දුනිත් වෙල්ලාලගේ විසින් යැවුණ ඊළඟ පන්දුවාරයේ අවසන් පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු Tom Banton ද දැවී යනවා. කුසල් මෙන්ඩිස් කඩුල්ල පිටුපස සිටිමින් කඩුල්ල බිඳ දැමීමෙන් ඔහුගේ ඉනිම අවසන් වෙද්දී පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියා.

එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම බවට පත් වූ අතර එය ඔහු විසින් වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනාගෙන් අනතුරු ව පිටියට එක් වූ නායක Harry Brook (1) ගේ ඉනිම ද ඊළඟ පන්දුවාරයේ දී නිමා කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වෙනවා. පිට පිට පන්දුවාර 3ක දී දුනිත් වෙල්ලාලගේ විසින් දවා ගත් මෙම කඩුලු 3 එංගලන්ත ඉනිමේ ලකුණු වේගය අඩාල කළා.

එම දැවී යෑම්වලින් අනතුරු ව නැවත ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට භීෂණය ගෙන ඒමට Jos Buttler හා Joe Root සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 46ක සබඳතාවක් එක් කරනවා.  Joe Root පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15කට දැවී යැමත් සමඟින් එම භීෂණය ද අවසන් වෙනවා.

නමුත් නැවත වතාවක් එංගලන්ත ඉනිමේ ලකුණු පුවරුව සශ්‍රීක කිරීමට Jos Buttler සහ Will Jacks සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කරමින් සිටිය දී ආබාධයකට ලක් වූ Jos Buttler පිටියෙන් ඉවත් වීමත් සමඟින් තරගයේ පාලනය නැවත සියතට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වෙනවා.

එතැන් සිට පැමිණි ක්‍රීඩකයන් අතුරින් Gus Atkinson (16) පමණක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසි අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක්ට එම සීමා ව අභිබවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

Will Jacks ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටි අතර Jos Buttler නැවත පිටියට පිවිසෙමින් ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 69ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 49කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඒශාන් මාලිංග සහ ඩිල්ශාන් මදුශංක කඩුලු ද්විත්වය බැගින් ද, සචිඳු කොළඹගේ සහ අසිත ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – කඩුලු 6ක් දැවී 321 (50.0) පැතුම් නිස්සංක 25, කමිඳු මෙන්ඩිස් 54, කුසල් මෙන්ඩිස් 121, පවන් රත්නායක 48, ජනිත් ලියනගේ 32, දුනිත් වෙල්ලාලගේ නොදැවී 16, Gus Atkinson 2/55, Rehan Ahmed 2/48
  • එංගලන්තය – කඩුලු 9ක් දැවී 305 (50.0) Tom Banton 73, Ben Duckett 67, Jos Buttler 69, Will Jacks 52, ඩිල්ශාන් මදුශංක 2/54, ඒශාන් මාලිංග 2/50, දුනිත් වෙල්ලාලගේ 3/49

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක්.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන 3 වැනි අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 29වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් London හී Kennington Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<