ප්‍රේක්ෂකයින් කොරෝනා අවදානමක! ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර නැහැ

එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය - 2021

157

පවත්නා COVID-19 වසංගත තත්වය හේතුවෙන් මේ දිනවල ක්‍රියාත්මක වන එංගලන්ත-ඉන්දියා විස්සයි විස්ස තරගාවලියේ ඉතිරි සහ අවසන් තරග ත්‍රිත්වය ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් තොරව දියත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.

Ahmedabadහී අලුතින් ඉදි කළ ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයන්ගෙන් එකක් ලෙස සැලකෙන නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ  නිමාව දුටු පළමු තරග ද්විත්වය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට සලසා දීමට තරගාවලි සංවිධායකවරුන් කටයුතුකොට තිබුණි.

ඒ අනුව ක්‍රීඩා පිටියෙහි ඉඩ පහසුකම් සලසා දිය හැකි මුළු ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50%ක ප්‍රමාණයකට සජිවී තරග අත්දැකීම් බෙදාහදා ගැනීමේ අවස්ථාව සලසා දීමට කටයුතුකොට තිබූ අතර  පළමු තරග දෙක සඳහා පමණක් ප්‍රේක්ෂකයින් 130,000කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බව Gujarat ක්‍රිකට් සංගමයේ සභාපති Dhanraj Nathwani මහතා ඊයේ දිනයේ දී නිකුත් කළ ප්‍රකාශයෙහි සඳහන්ව තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව දැනටමත්  ඉතිරි තරග තුන සඳහා  ප්‍රවේශපත්‍ර මිල දී ගෙන ඇති ප්‍රේක්ෂකයින් හට ඔවුන්ගේ ගෙවීම්වලට අදාළ මුදල ආපසු ලබා දීමට අවශ්‍ය පියවර සියල්ල ගෙන ඇති බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සටහන්ව තිබුණි.

මෙවැනි තීරණයකට එළඹීමට අපිට සිදු වූයේ ගුජරාට් ප්‍රාන්තයේ COVID-19 වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව යලි ඉහළ යාමක් දක්නට ලැබීමත්, එහි අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවන්ගේ අවසන් ප්‍රතිඵලයක් වශයෙනි.

BCCIය සෑම විටම ක්‍රීඩකයින්ගේ පමණක් නොව ප්‍රේක්ෂකයින්ගේ ද ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී කටයුතු කිරීමට බැඳී සිටින බව ද Gujarat ක්‍රිකට් සංගමය විසින් නිකුත් කළ ප්‍රකාශයෙහි අවධාරණය කොට තිබුණි.

තම මංගල විස්සයි විස්ස තරගයේ දී ම අනගි ඉනිමක් දියත් කරමින් තම කණ්ඩායම නැවතත් ජයග්‍රාගි මාවතට යොමු කිරීමට සුපිරි ඉන්දීය පිතිකරු Ishan Kishan පසුගිය දා සමත් විය. තරග 1-1ක් ලෙස සම තත්වයේ පවතින තරගාවලියේ තීරණාත්මක තෙවැනි විස්සයි විස්ස තරගය අද (16) පස්වරු 7.00ට Ahmedabadහීදි  ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<