ශ්‍රී ලංකාව පළමු එක්දින තරගයත් පරාජය වෙයි

Sri Lanka tour of England 2026

22
Sri Lanka tour of England 2026

එංගලන්තය සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙසින් පරාජය වීමෙන් අනතුරු ව ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසන් කිරීමට සිදු වෙන්නේ පරාජිතවයි.

Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී (22දා) දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 89ක පරාජයකට මුහුණ දෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 267ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉනිමේ තවත් පන්දු 78ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

>>ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලිය අද සිට…<<

මෙම තරගයේ දී 28 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන සචිඳු කොළඹගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්,  පවන් රත්නායක, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, සචිඳු කොළඹගේ, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක.

එංගලන්ත කණ්ඩායම

Harry Brook (නායක), Tom Banton, Ben Duckett, Joe Root, Jos Buttler (කඩුලු රකින්නා), Will Jacks, Rehan Ahmed, Jamie Overton, Gus Atkinson, Jofra Archer සහ Josh Tongue.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16 දී අහිමි වූව ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 48ක දී ලකුණු 51ක සබඳතාවක් එක් කිරීමට Ben Duckett සහ Joe Root සමත් වෙනවා. ඔවුන්ගේ සබඳතාව නිමා වෙන්නේ Ben Duckett ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටියා.

Joe Root ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා. ඔහු එම කඩුල්ලට දැවී යෑමෙන් දී නායක Harry Brook හා සමඟ පන්දු 70ක දී ලකුණු 68ක සබඳතාවක් ද ගොඩ නගනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නැවතත් එංගලන්ත ඉනිමට සාර්ථක සබඳතාවක් එක් කිරීමට Harry Brook සහ Jos Buttler සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 52ක දී ලකුණු 47ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක Harry Brook ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.

 Jos Buttler ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.

එංගලන්ත ඉනිම තවත් පන්දු 11ක් තිබිය දී අවසන් වෙද්දී Will Jacks පන්දු 47කට මුහුණ දෙමින් හතරෙ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මංගල එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් සචිඳු කොළඹගේ ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අසිත ප්‍රනාන්දු ද ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතර ව ඩිල්ශාන් මදුශංක, දුනිත් වෙල්ලාලගේ සහ දුශ්මන්ත චමීර කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දුනිත් වෙල්ලාලගේ. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක කුසල් මෙන්ඩිස් පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ද, පැතුම් නිස්සංක පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ සචිඳු කොළඹගේ පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය එක් පන්දුවාරයක් තුළ දවා ගත් දකුණතින් පිට දඟ පන්දු යවන Will Jacks ලකුණු 22කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා. ඔහුට අමතර ව Jamie Overton කඩුලු 2ක් ද, Josh Tongue, Gus Atkinson සහ Rehan Ahmed කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

එංගලන්තය – සියලුම දෙනා දැවී 265 (48.1) Ben Duckett 32, Joe Root 44, Harry Brook 67, Jos Buttler 31, Will Jacks නොදැවී 46, අසිත ප්‍රනාන්දු 3/53, සචිඳු කොළඹගේ 3/44

 

ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 176 (37.0) පැතුම් නිස්සංක 27, කුසල් මෙන්ඩිස් 42, දුනිත් වෙල්ලාලගේ 45, Jamie Overton 2/21, Will Jacks 5/22

 

එංගලන්ත කණ්ඩායමට ලකුණු 89ක ජයක්.

තරගයේ වීරයා – Will Jacks (එංගලන්තය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ මස 24 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<