Rizwanගේ පාපොච්චාරණය!

Pakistan Super League 2023

3183
Mohommad Rizwan

නිමා වුන නවසීලන්ත – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන පිතිකරු Mohammad Rizwan වෙනුවට, හිටපු නායක Sarfaraz Ahmedව නැවත කැඳවීම තරමක් කතාබහට තුඩු දුන් කාරණයක් වුනා.

නමුත් පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර එම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් Rizwan පවසා සිටියේ, තමන් පාකිස්තාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු නැති බව හැඟුණු බවයි.

“ඔබට පුළුවන් ප්‍රධාන පුහුණුකරු Saqlain Mushtaqගෙන් අහන්න, එංගලන්තය සමඟ තරගාවලියෙන් පස්සේ මම ඔහුට මොකක්ද කිව්වේ කියලා. මට හොඳින් දස්කම් පෙන්වීමට නොහැකි වුන නිසා ඊළඟ තරගාවලිය ක්‍රීඩා කරන්න සුදුසු නැහැ කියලා මම පෞද්ගලිකව ම හිතුවා.”

පසුගිය ටෙස්ට් තරග හය තුල දී ඉනිම් 12ක් ක්‍රීඩා කරපු Rizwan ලබා ගන්න සමත් වෙලා තිබෙන්නේ ලකුණු 262ක් පමණයි. එහි සාමාන්‍ය දැක්වෙන්නේ 21.84ක් විදිහට. Rizwanගේ මෙම බිඳ වැටීම සමඟම ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍යයත් 38.13ක අගයක් දක්වා පහළට වැටුණු බවත් ක්‍රිකට් සංඛ්‍යා දත්ත මගින් පෙන්වා දෙනවා. නමුත් ඔහු දිගින් දිගටම කඩුල්ල පිටුපස සිට තමන්ගේ කඩුලු රැකීමේ භූමිකාව නම් සාර්ථක ලෙස රඟ දක්වන්න සමත් වුනා.

කෙසේ වෙතත් පසුගිය වසරේ අග භාගයේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටි Ramiz Rajaගේ හදිසි ඉවත් කිරීමෙන් පසුව, Najam Sethi එහි නව සභාපති ධුරයේ වැඩ බාර ගත්තා.

මෙම ධුර වෙනස පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තුලත් යම් යම් වෙනස් කම් ඇති කරන්න සමත් වුන බව නොරහසක්. එහි එක් ප්‍රතිඵලයක් විදිහට Rizwanගේ ටෙස්ට් කඩුලු රකින පිතිකරු ස්ථානය හිටපු පාකිස්තාන නායක Sarfaraz හට හිමි වුනා. ඒ අනුව නිමා වුන නවසීලන්ත සංචාරයේ දී වසර තුනකට පසුව නැවතත් සිය ජාතික කණ්ඩායම සමඟ එකතු වෙන්න Sarfarazට අවස්ථාව හිමි වෙනවා.

එම තරගාවලියේ දී Sarfarazගේ කඩුලු රැකීම කාලයක පටන් ප්‍රේක්ෂක ඇසට හුරු පුරුදු අන්දමේ ම තරමක් දුර්වල එකක් (උඩ පන්දු කිහිපයක් සහ ස්ටම්ප් කිරීම් කිහිපයක් මග හැරී ගියා) වුනත්, ඔහුගේ පිතිකරණය නම් කිසිම විදියකින් අසාර්ථක වුනේ නැහැ. ටෙස්ට් තරග දෙකකින් සමන්විත වුන තරගාවලියේ දී Sarfaraz විසින් අර්ධ ශතක තුනක් සහ ශතකයක් සමඟින් සමස්ත ලකුණු 335ක් රැස් කරන්න සමත් වුනේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් වගේම, තරගාවලියේ වීරයා සම්මානයත් හිමි කර ගනිමින්මයි.

“Sarfaraz දස්කම් පෙන්වනවා දැකීම මට සතුටක්, මොකද ඒක තමයි මට අවශ්‍ය වුනෙත්. ඔහු දේශීය තරගවල දස්කම් පෙන්වුවා, ඒ නිසා ඔහු මේ අවස්ථාව ලබන්න සුදුසුයි. ඔහුව කණ්ඩායමට ඇතුළත් කරන්න කියලා මම ඉල්ලීම් කළා. දස්කම් පෙන්වන කවුරු වුනත් පාකිස්තානයට ක්‍රීඩා කරන්න සුදුසුයි.

හැම ක්‍රීඩකයෙක් ම මේ වගේ කාල පහුකරනවා, ඉනිම් කිහිපයක් අසාර්ථක වුනා කියලා ඔබ කණ්ඩායමෙන් ඉවතට විසි විය යුතු නැති බව සමහර ක්‍රීඩකයින් කිව්වා. නමුත් මම කණ්ඩායම් පුහුණුකරු සහ නායකයා වෙත ගිහින් කිව්වේ මම දස්කම් නොපෙන්වපු නිසා කණ්ඩායමෙන් ඉවත් කිරන්න කියලයි. තවත් ක්‍රීඩකයින් දෙන්නෙක් මේ සංවාදය දැක්කා.”

මීට පෙර පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ දී Rizwan විසින් Karachi Kings නියෝජනය කරමින් සිටිය දීත් මේ විදිහට ම වරින්වර කණ්ඩායමෙන් එළියට විසි වුනා. ඔහු Kings නියෝජනය කරපු අවසන් අවුරුදු දෙක තුල දී තරග 7ක් පමණයි ක්‍රීඩා කරන්න අවස්ථාව හිමි වුනේ.

නමුත් 2021 දී Multan Sultan කණ්ඩායම Rizwanට තම කණ්ඩායමේ නායකත්වය ලබා දෙමින් ඔහුව සිය කණ්ඩායමට තෝරා ගන්නවා, පසුව Rizwan විසින් Multan Sultan පළමු PSL ශූරතාව දක්වා මෙහෙයවන්නත් සමත් වෙනවා.

නමුත් පෙර සාකච්ඡාවේ දී Rizwan විසින් Karachi Kings විසින් ඔහුව නිතරම කණ්ඩායමෙන් එළියට දමන්න ගත් තීරණවලට සහය පළ කළා.

“අතීතයේ PSL ක්‍රීඩා කරද්දී කණ්ඩායමෙන් එළියට විසි වුනාම මට කිසිම වේදනාවක් දැනුණේ නැහැ. මම හිතුවේ ඔවුන් (Karachi Kings) කණ්ඩායම සමඟ අවංක වුනා කියලා. ඒ මොහොතේ මාව කණ්ඩායමෙන් එළියේ තැබීම තමයි කණ්ඩායම් අවශ්‍යතාව වුනේ.”

නමුත් දැන් Rizwan Multan Sultan කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරනවා, ඔහුගේ නායකත්වය යටතේ Sultan කණ්ඩායම ලබන 13 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත PSL තරගාවලිය ක්‍රීඩා කරාවී.

PSL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<