ක්‍රිකට් ගැටලු විසඳන්න කැබිනට් අනුකමිටුවක්

296

ශ්‍රී ලංකා ක්‍රිකට් හි පවතින ගැටලු විසඳීම වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂ අනුකමිටුවක් පත් කිරීමට අද (06) පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති ගැටලු නිරාකරණය කිරීම පිළිබඳ අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එහි තීරණයක් ලෙසයි සිව්දෙනෙකුගෙන් සමන්විත මෙම අනුකමිටුව පත් කිරීමට තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සභාපති ධුරය දරන මෙම කමිටුවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් යන අය සාමාජිකයින් ලෙස නම් කර තිබෙනවා.

එමෙන්ම කමිටුවේ සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ලේකම් විසින් නම් කරනු ලබන අතිරේක ජනාධිපති ලේකම්වරයෙකු ද මෙම කමිටුව හා සම්බන්ධ වනු ඇත.

මෙහි දී මෙම ගැටලු විනිශ්චය වෙනුවෙන් සිදු කරන සාකච්ඡා සඳහා අවශ්‍ය ඕනෑම නිලධාරියෙකුගේ/ ක්ෂේත්‍ර ප්‍රවීණයෙකුගේ සහය ලබා ගැනීමේ බලය ද මෙම අනුකමිටුව වෙත පවරා තිබීම විශේෂත්වයක්.

ජනාධිපති මාධ්‍ය අංශය මඟින් අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<