ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් පිළිතුරු

ICC Cricket World Cup 2023

913
ICC Cricket World Cup 2023

පසුගිය සිකුරාදා (03) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුදැනුම පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට චෝදනා එල්ල කරමින් ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පිළිතුරු සපයමින් ලිපියක් යොමු කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය මාධ්‍ය නිවේදනය මගින්, මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජයන් හි වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තේරීම් කමිටුව විසින් භාරගත යුතු බවට චෝදනා එල්ල කළා.

මෙහි දී අමාත්‍යවරයා විසින් තේරීම් කමිටුව වෙත එල්ල කළ චෝදනා වෙනුවෙන් පමණක් මෙම ලිපිය හරහා පිළිතුරු සපයන බව තේරීම් කමිටු සභාපති විසින් අවධාරණය කරනවා.

යම් විවේචනයක් වේ නම් ඒවා යොමු කළ යුතු ක්‍රමවේදයක් පවතින බව සහ එම මාධ්‍ය නිවේදනයේ තේරීම් කමිටුව අදාළව සඳහන් කර ඇති කරුණු අසත්‍ය සහ අර්ධ සත්‍ය මත ගොඩ නැගුණු අභූත චෝදනා බවයි වික්‍රමසිංහ මහතා මෙම ලිපියේ සඳහන් කරන්නේ.

“අදාළ නිවේදනයෙන් පැවසන්නේ ක්‍රිකට් පරාජයන්හි වගකීම වසර 4ක් පුරා තේරිම් කටයුතු සිදු කළ තේරීම් කමිටුව විසින් භාර ගත යුතු බවයි. නමුත් ඔබතුමන්ගේ අමාත්‍යංශය සතු නිල වාර්තා නිසි ලෙස පරිශීලනය කළහොත් වැටහෙනු ඇත්තේ වර්තමාන කමිටුව පත් කොට ගත වී ඇත්තේ වසර දෙකහමාරක් පමණක් බවයි.”

දිගින් දිගටම තරග පරාජය වෙමින් ලෝක කුසලාන සෘජු සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවා අහිමි කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතිශය දරුණු අගාධයකට වැටී සිටි කාලයක වගකීම් බාර ගනිමින් ගෙවුණු වසර දෙක හමාරක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ප්‍රගතියක් අත්පත් කර දීමට තමන් ප්‍රමුඛ තේරීම් කමිටුව සමත් වූ බවයි වික්‍රමසිංහ මහතා මෙහි දී සඳහන් කරන්නේ.

එමෙන්ම තේරීම් කමිටුව ලෙස සිය මැදිහත් වීම සිදු වන්නේ නිසි කුසලතාවයක් සහිත ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් බව අවධාරණය කරන තේරීම් කමිටු ප්‍රධානී එසේ තෝරා ගත් ක්‍රීඩකයින් විසින් පසුගිය වසර දෙක හමාරක කාලය තුළ පහත ජයග්‍රහණ රටට අත් කර දීමට සමත් වූ බව පවසනවා.

  1. ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියේ දී 3-2 ලෙස ලැබු ඓතිහාසික ජයග්‍රහණය (මෙය දෙරට අතර මෙරට පැවති එක්දින තරගාවලියක දී වසර 30කට පසුව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහණ විය)
  2. වසර 08කට පසුව, ආසියානු කුසලාන ජයග්‍රහණයක් අප රටට හිමිකර දීම,

III. වසර 09කට පසුව  ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අනුශූරතාවය අප රටට හිමිකර දීම,

  1. ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ පස්වන තැනට ශ්‍රී ලංකාව පත්වීම,
  2. ඉන්දියාව සමඟ T-20 තරගාවලියක් වසර 7කට පසුව ජයග්‍රහණය කිරීම,
  3. නවසීලන්තය සමඟ T-20 තරගයක් වසර 7කට පසුව ජයග්‍රහණය කිරීම

VII. ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීම.

VIII. 2016න් පසු පළමු වරට T-20 ලෝක කුසලානක් සඳහා සෘජු සුදුසුකම් සනාථ කිරීම

  1. තවත් වසර ‍දහයක් ක්‍රීඩා කිරීමට හැකියාව සහිත අනාගතයේ දී ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා ගත හැකි කණ්ඩායමක් ගොඩනැගීම.

ඉහත ජයග්‍රහණ අනුව අමාත්‍යවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කළ අයුරින් තේරීම් කමිටුව විසින් තෝරා ගත් ජාතික ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම පරාජයන් නොලැබූ බවයි වික්‍රමසිංහ මහතා විසින් මෙහි දී පවසන්නේ.

මේ අතර තම ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් තේරීම් කටයුතුවල දී අනාගත ආයෝජනයක් ලෙස යොවුන් ක්‍රීඩකයින් පෙරට ගැනීම, ක්‍රීඩක ශාරීරික යෝග්‍යතාව හොඳින් පවත්වා ගැනීම තම නිර්ණායක ලෙස තබා ගත් බව ද වික්‍රමසිංහ මහතා විසින් මෙහි සඳහන් කරනවා.

එමෙන්ම ක්‍රීඩකයින්ගේ මානසික යහපැවැත්ම පිළිබඳව ද තේරීම් කමිටුව විශේෂ අවධානයක් ලබා දුන් බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා විසින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ඉන්දියාව සමඟ පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තත්ව යටතේ තෝරාගත හැකිව තිබූ හොඳම කණ්ඩායම බවයි.

එමෙන්ම ක්‍රීඩකයින් තේරීම තේරීම් කමිටුව, ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් නායකයා විසින් ගන්නා සාමූහික තීරණයක් බවත්, එසේ තෝරා දෙන ක්‍රීඩක ලැයිස්තුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ද යොමු කෙරෙන නිසා තේරීම්වල යම් වරදක් වේ නම් එහි වගකීම අමාත්‍යවරයාට ද පැවරෙන බවත් වික්‍රමසිංහ මහතා මෙහි දී අවධාරණය කරනවා.

මේ අතර අවසාන වශයෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් සිය ලිපියේ සඳහන් කරන්නේ ඉන්දියාව හමුවේ අවස්ථා දෙකක දී ලද අවාසනාවන්ත පරාජයන් පිළිබඳ තේරීම් කමිටුව ද කම්පනයට හා කනස්සල්ලට පත් වී ඇති බවයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<