“මේ ශතකය නායර් වෙනුවෙන්” – වෙන්කටේෂ් අයියර්

720

2008 දී ඇරඹුණු මංගල IPL තරගාවලියේ මංගල තරගයේ දී ම එහි මංගල ශතකය වාර්තා වුනේ KKR (Kolkata Knight Riders) කණ්ඩායමේ සුපිරි පිතිකරු Brendon McCullum (බ්‍රෙන්ඩන් මැකලම්) විසිනි. එහෙත් ඉන්පසුව ගතවූ IPL අදියර 15ක දී KKR වෙනුවෙන් කිසිදු පිතිකරුවෙකු ශතකයක් වාර්තා කිරීමට අසමත් විය.

එය වෙනස් කළේ ආබාධ වලින් පසුව නැවත පැමිණ මෙවර IPL තරගාවලියේ දී ශතකයක් වාර්තා කළ ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක Venkatesh Iyer (වෙන්කටේෂ් අයියර්) විසිනි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔහු විසින් පන්දු 49ක දී ශතකයක් (104) වාර්තා කිරීමට සමත් විය.

පසුගිය වසරේ දී පඩිපෙලක දී ඇති වූ අසමබරතාවයක් හේතුවෙන් ඔහුගේ වළලුකර බරපතළ ආබාධයකට ලක්වූ අතර එතැන් සිට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි විය. පසුව ඔහුව ශල්‍යකර්මයකට ලක් කළ වෛද්‍යවරුන් විසින් සඳහන් කොට තිබුණේ ඔහුගේ දිවීමේ වේගය ද අඩු වනු ඇති බවයි. එහෙත් බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියෙ හිදී කැපවීමෙන් තම ශරීර සුවතාවය ඉහළ නංවා ගත් අයියර් පිතිකරණ රිද්මය සොයාගැනීමට බොහෝ පරිශ්‍රමයක් දැරීය.

මුම්බායි කණ්ඩායමට එරෙහිව සිය මංගල IPL ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු ඊට දායක වූ ඔහුගේ සහායක කණ්ඩායමට ස්තුතිවන්ත වූ අතර, පිතිකරණ රිද්මය සොයාගැනීම වෙනුවෙන් තමන්ට සහාය වූ KKR සහාය පුහුණුකරු Abhishek Nayar හට (අභිෂේක් නායර්) එම ශතකය පිරිනැමුවේය.

මෙතන දී මතක් කරන්න වටින නමක් තමයි අභිෂේක් නායර්. ඔහු මගේ පිතිකරණය වෙනුවෙන් දවස ගානේ වැඩ කළා. පිතිකරණය විතරක් නෙමෙයි, මම තරගයකට ප්‍රවිෂ්ට වෙන විදිය ගැනත්. මම මේ ශතකය ඔහුට පුදනවා,” අයියර් පැවසුවේය.

28 හැවිරිදි අයියර් සිය ආබාධය ගැන සිහි කළේ මෙලෙසිනි.

මාස 6කට කලින් මගේ වළලුකර බිඳුණා. එක සන්ධියක් එළියට පැනලයි තිබුණේ. ඒක විකාරරූපී ආබාධයක්. BCCI එක මං ගැන හොයාබලන ක්‍රමවේදයක් යටතේ ඉන්න ලැබීමට මම වාසනාවන්තයි,” ඔහු පැවසීය.

ගොඩක් වෛද්‍යවරුන් කිව්වා මට මගේ සාමාන්‍ය වේගෙන් දුවන්න බැරි වෙයි කියලා. මට කනගාටුවක් ඇති වුනත් මට සතුටුයි නැවතත් පිටියට ඇවිල්ලා මගේ දේ කරලා මගේ කණ්ඩායමට දායක වෙන්න ලැබීම ගැන,” ඔහු පැවසුවේ තරගයෙන් අනතුරුවයි.

එහෙත් හයේ පහර 9ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිම ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. කෙසේ වෙතත් පන්දු 51ක දී වාර්තා වූ ඔහුගේ ලකුණු 104 නිසා මෙතෙක් IPL හි වැඩිම ලකුණු ලාභියාට හිමිවන තැඹිලි පැහැති හිස්වැස්ම ඔහුට හිමි විය. නිත්‍ය නායක Shreyas Iyer (ශ්‍රෙයාස් අයියර්) නොමැතිව ක්‍රීඩා කරන KKR කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය වෙන්කටේෂ් අයියර් හට අයත්ව තිබේ.

ශ්‍රෙයාස් කණ්ඩායමේ නෑ. ඔහුට ආබාධයක් තියෙනවා සහ කවුරුහරි කෙනෙක් අංක 3 පිතිකරුගේ වැදගත් රාජකාරිය අතට ගත යුතුව තිබුණා. පිතිකරුවෙකු හැටියට නම්‍යශීලී විය යුතුයි කියන එක මම විසින් පවත්වා ගෙන ගිහින් තියෙනවා,”  ඔහු පැවසුවේය.

පුහුණුකරු මට අංක 3 පන්දුවට පහර දෙන්න වෙන බව කියද්දී මගේ අභිප්‍රාය වෙනස් වුනේ නෑ. පවර්ප්ලේ එකේ දී පන්දු යවන්නන්ට වේගෙන් පහර දෙන්න ඕන සහ දෝලනය අඩු බව තේරුම් ගත්තහම මම අවස්ථාවක් අරගෙන ගහලා මගේ කණ්ඩායමට ඉක්මන් ආරම්භයක් අරගෙන දෙන්න ඕන,” අයියර් සිය පිතිකරණය ගැන එසේ පැවසුවේය. එය නූතනත්වයේ සංකේතාත්මක පිතිකරණයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<