බංග්ලාදේශය ‘කාලය’ යොදවා මැතිව්ස් දවා ගනී!

ICC Cricket World Cup 2023

2619
ICC Cricket World Cup 2023

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (06) පැවති ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා ඉනිම අතරතුර සිදු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධ සිදුවීම මේ වන විට දැඩි මතභේදකාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ 38 වැනි තරගය ලෙස ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ 25 වැනි පන්දුවාරයේ දී එතෙක් වෙලා පිතිකරණයේ යෙදෙමින් සිටි සදීර සමරවික්‍රම බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ පන්දුවක් හමුවේ Mahmudullah අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. එම දැවී යාමෙන් පසුව හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් අංක හය පිතිකරු ලෙස පිටියට පිවිසුණා.

මැතිව්ස් පිටියට පිවිසීමෙන් පසුව, පන්දුවට පහර දීමට පෙර ඔහුගේ හිස්වැස්මේ පටියක් කැඩී ගිය අතර, එම නිසා ඔහු ඒ වෙනුවට වෙනත් හිස්වැස්මක් ලබා ගැනීමට කටයුතු කළා.

ඔහු මෙසේ නව හිස්වැස්මක් බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවේ බංග්ලාදේශ නායක Shakib විසින් පිතිකරුවා සිය “කාලය ඉක්මවා” ගිය බව පවසමින් (Timed Out) දැවී යාමකට ඉල්ලීම් කළා.

මේ සමඟම මැතිව්ස් මහත් පුදුමයකට පත් වූ බව පෙනෙන්නට තිබුණු අතර ඔහු පිටියේ විනිසුරුවරුන් සමඟ සහ බංග්ලාදේශ ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කරන අයුරු ද කැමරා කාචයේ සටහන් වුනා. නමුත් බංග්ලාදේශ පාර්ශවයෙන් මෙම ඉල්ලීම ඉවත් කර ගැනීමක් සිදු නොවූ අතර ඒ අනුව හිටපු ශ්‍රී ලංකා නායකයාට එකඳු පන්දුවකට හෝ මුහුණ දීමට ඉඩක් නොලැබීම නැවතත් ක්‍රීඩාගාරය වෙත හැරී ඒමට සිදු වුනා.

ICC කොන්දේසිවල ‘Timed Out’ දැවී යාම විස්තර කර ඇත්තේ මෙසේයි,

“කඩුල්ලක් දැවී යාමෙන් හෝ පිතිකරුවෙකු පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් (ඉවත් වීමෙන්) පසු මිනිත්තු දෙකක කාලයක් ඇතුළත කඩුල්ලට පැමිණෙන පිතිකරුවා හෝ අනෙක් පිතිකරුවා පන්දුව බාර ගැනීමට සූදානම් විය යුතුය. මෙම අවශ්‍යතාව සපුරා ගත නොහැකි වුවහොත් කඩුල්ලට පිවිසෙන පිතිකරුවා දැවී යනු (Timed Out) ඇත.”

මේ අනුව මැතිව්ස් සිය පළමු පන්දුවට මුහුණ දීමට පෙර මිනිත්තු දෙකකට වඩා වැඩි කාලයක් ගත කිරීම නිසා ඔහුට මෙම නීතිය අනුව දැවී යාමට සිදු වුනා. සමරවික්‍රමගේ දැවී යාමෙන් මිනිත්තු පහකට පසුව මෙම දැවී යාම සටහන් වී තිබුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ (කාන්තා හෝ පිරිමි) මෙවැනි දැවී යාමක් සිදු වූ පළමු අවස්ථාව ලෙසයි මෙය ක්‍රිකට් වාර්තාවල සටහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම දැවී යාම වෙනුවෙන් බංග්ලාදේශ නායක Shakib Al Hasan විසින් නොකඩවා ඉල්ලීම් සිදු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට දැඩි හානියක් සිදු කළ බවයි බහුතර මතය වී ඇත්තේ.

මෙම සිදුවීමෙන් පසු තරගය පුරාවටම තරග විස්තර විචාරකයින් මෙන්ම, සමාජ මාධ්‍ය පරිශීලකයින් ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

මේ එවැනි අදහස් කිහිපයක්;

“අද දිල්ලියේ දී සිදු වූ දෙය අතිශය කණගාටුදායකයි.” – Gautam Gambhir

“ඇන්ජලෝ ක්‍රීඩා පිටියට පැමිණි පසු ඔහුගේ හිස්වැස්මේ පටිය කැඩී ගියා. කොහොමද ඒක Timed Out අවස්ථාවක් වෙන්නේ?

ඔහු පිටියට ආවේ නැති නම් එය Timed Out, නමුත් මෙය නම් විහිළුවක්.

පිතිකරුවෙක් පිටියට පැමිණීමෙන් පසුව පන්දුවට මුහුණ දීමට මිනිත්තු තුනක් ගත වීමෙන් වෙනසක් නැහැ.” – Usman Khawaja

“මම දැකපු දේට නම් මම ඒ තරම් කැමති නැහැ. මම හැමතිස්සේ ම ක්‍රීඩාවේ ජීව ගුණය විශ්වාස කරනවා. ඔව්, ක්‍රීඩාවේ නීති අනුව ඔහු දැවී යන්න ඇති. නමුත් ක්‍රීඩාවේ ජීව ගුණය අනුව මම එයට කැමති නැහැ.

මම හිතන්නේ ඉල්ලීම සහ සම්පූර්ණ සිදුවීම මගේ කැමැත්තට වඩා තරමක් වැඩි දෙයක්.”

– තරගයේ විස්තර විචාරයේ යෙදී සිටි හිටපු පාකිස්තාන ක්‍රීඩක Waqar Younis.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳ තවත් අදහස් බොහෝමයක් ඉදිරියේ දී ද ඇසීමට සහ දැකීමට හැකි වනු ඇති බව අනුමාන කළ හැකි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<