CDB සහ HNB A අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

Singer - MCA Super Premier T20 2026

1

 වෙළඳ සේවා ක්‍රිකට් සංගමය 33 වැනි වරටත් සංවිධානය කරන Singer – MCA Super Premier විස්සයි විස්ස  ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගැනීමට CDB කණ්ඩායම සහ HNB A කණ්ඩායම අද (11) සමත් වුණා.  

1 වැනි අවසන් පූර්ව තරගය : CDB සහ Hayleys Group A අතර කොළඹ BRC  ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය දිනූ CDB කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Hayleys Group A ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 179ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි CDB කණ්ඩායම තවත් පන්දු 2ක් ඉතිරි ව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් තරගය ජයග්‍රහණය කරනවා.  

CDB කණ්ඩායම 

ලහිරු මදුශංක (නායක), ශෙවෝන් ඩැනියෙල්, විශාද් රන්දික (කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, අශේන් බණ්ඩාර, මුදිත ලක්ශාන්, චමිඳු වික්‍රමසිංහ, මොවිඳු සුබසිංහ, දුනිත් වෙල්ලාලගේ, සචිඳු කොළඹගේ සහ නවිඳු ප්‍රභාශ්. 

Impact Player : ශානික්‍ය දේශප්‍රිය 

Hayleys Group A කණ්ඩායම 

මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), පුලිඳු පෙරේරා, සහන් කෝසල, නුවනිඳු ප්‍රනාන්දු, කෙවින් පෙරේරා, කවිෂ්ක අංජුල, ඉනුක කරන්නාගොඩ, සුමින්ද ලක්ශාන්, කවිඳු පතිරත්න, ට්‍රෙවීන් මැතිව් සහ නිසල අබේරත්න. 

Impact Player : අහන් වික්‍රමසිංහ 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Hayleys Group A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ද සහ මිනෝද් භානුක පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නවිඳු ප්‍රනාන්දු කඩුලු 2ක් ද, පවන්ත වීරසිංහ, ලහිරු මදුශංක සහ සචිඳු කොළඹගේ කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි CDB කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ පවන්ත වීරසිංහ. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නවා.  

ඔහු එම ඉනිම තුළ දී ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියෙල් හා එක් ව ලකුණු 51ක සබඳතාවක් ද සහ මුදිත ලකුෂාන් හා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 86ක සබඳතාවක් ද එක් කරනවා.  

එහි දී ශෙවෝන් ඩැනියෙල් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ද සහ මුදිත ලක්ෂාන් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා ගන්නවා.  

කඩුලු දවා ගැනීමේ දී කවිඳු පතිරත්න ලකුණු 27කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ට්‍රෙවින් මැතිව්, නිසල අබේරත්න සහ කවිශ්ක අංජුල කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Hayleys Group A – කඩුලු 8ක් දැවී 179 (20.0) පුලිඳු පෙරේරා 35, නුවනිඳු ප්‍රනාන්දු 67, මිනෝද් භානුක 27, නවිඳු ප්‍රභාෂ් 2/51, දුනිත් වෙල්ලාලගේ 3/12
  • CDB – කඩුලු 6ක් දැවී 180 (19.4) ශෙවෝන් ඩැනියෙල් 44, පවන්ත වීරසිංහ 58, මුදිත ලක්ෂාන් 42, කවිඳු පතිරත්න 3/27

CDB කණ්ඩායමට කඩුලු 4ක ජයක්. 

2 වැනි අවසන් පූර්ව තරගය : Fairfirst Insuarance සහ HNB A අතර තරගය, කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී. 

කාසියේ වාසිය ජයග්‍රහණය කළ HNB A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගත් ඊට පිළිතුර ඉනිමට පිවිසි HNB A ක්‍රීඩකයෝ ද සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගන්නවා.  

ලකුණු සම වූ එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයක් යැවුණ අතර එම පන්දුවාරයේ දී HNB A ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 8ක් පමණයි.  

ඒ අනුව තරගයේ සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රහණය HNB A කණ්ඩායම සතු වෙනවා. 

Fairfirst Insuarance කණ්ඩායම 

අනුක් ප්‍රනාන්දු (නායක), ගවිරු සෙන්හස්, තනුක දාබරේ, සංගීත් කුරේ, සනෝජ් දර්ශික, රනේෂ් සිල්වා (කඩුලු රකින්නා), දුශාන් විමුක්ති, යසිරු රොද්‍රිගෝ, හිමේෂ් රාමනායක, දිලුම් සුදීර සහ ශානල් ගමගේ.  

Impact Player : ඉසුරු ප්‍රනාන්දු 

HNB A කණ්ඩායම 

මාධව වර්ණපුර (නායක), පවන් සංදේශ්, රන්මිත් ජයසේන, කවිජ ගමගේ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), ජනිශ්ක පෙරේරා, චමිඳු විජේසිංහ, මල්ෂ තරුපති, නිම්සර අතරගල්ල, අශේන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම. 

Impact Player : හිවින් කෙනුල 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Impact Player ඉසුරු ප්‍රනාන්දු. ඔහු පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව දුශාන් විමුක්ති පන්දු 15ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 22ක දී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී චමිඳු විජේසිංහ ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මල්ෂ තරුපති කඩුලු 2ක් ද, අශේන් ඩැනියෙල්, ප්‍රවීන් ජයවික්‍රම සහ හිවින් කෙනුල කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි HNB A ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ චමිඳු විජේසිංහ. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ජනිශ්ක පෙරේරා පන්දු 32ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ද, සොහාන් ද ලිවේරා පන්දු 12ක දී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ද සහ රන්මිත් ජයසේන පන්දු 12ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී  හිමේෂ රාමනායක ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්ද යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සංගීත් කුරේ සහ තනුක දාබරේ කඩුලු ද්විත්වය බැගින් ද දිලුම් සුදීර කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ පැවැති සුපිරි පන්දුවාරයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් HNB A කණ්ඩායමේ මල්ෂ තරුපති පන්දු 4ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායම වෙනුවෙන් තනුක දාබරේ පන්දු 4ක දී හයේ පහරක් සමඟින් ලකුණු 7ක් ලබා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • Fairfirst Insuarance – කඩුලු 9ක් දැවි 170 (20.0) ගවිරු සෙන්හස් 22, ඉසුරු ප්‍රනාන්දු 35, රනේෂ් සිල්වා 26, දුශාන් විමුක්ති 26, මල්ෂ තරුපති 2/14, චමිඳු විජේසිංහ 3/24
  • HNB A – සියලුම දෙනා දැවී 170 (19.5) රන්මිත් ජයසේන 21, සොහාන් ද ලිවේරා 30, ජනිශ්ක පෙරේරා 34, චමිඳු විජේසිංහ 47, මල්ෂ තරුපති 21, හිමේෂ් රාමනායක 3/31, සංගීත් කුරේ 2/09, තනුක දාබරේ 2/40

තරගයේ ලකුණු සමයි.  

සුපිරි පන්දුවාරයේ ලකුණු පුවරුව 

  • HNB A – කඩුල්ලක් දැවී 17 (1.0) මල්ෂ තරුපති නොදැවී 13, චමිඳු විජේසිංහ 4, හිමාෂ රාමනායක 1/17
  • Fairfirst Insuarance – කිසිවෙක් නොදැවී 8 (1.0) තනුක දාබරේ නොදැවී 7

HNB A කණ්ඩායමට සුපිරි පන්දුවාරයෙන් ජය. 

Singer – MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<