ඉන්දියාවේ ඛේදවාචක හමුවේ T20 ලෝක කුසලානය කොයිබටද?

142

2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. නමුත් මේ වන විට දරුණු බලපෑමකට ලක්ව සිටින ඉන්දියාව තුල තරගාවලිය පැවැත්වීමට හැකි වේවි ද? 

තරගාවලියේ අධ්‍යක්ෂ වන Dhiraj Malhotra මේ පිළිබඳව BBC වෙබ් අඩවිය සමඟින් එක්වූ සාකච්ඡාවක දී අදහස් දක්වා සිටියා. එහි දී ඔහු පවසා සිටියේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකි වනු ඇති බවයි.

“අපි තරගාවලිය ඉන්දියාව තුල පවත්වන්න සෑම උත්සාහයක්ම ගන්නවා. අපි දැනට බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ව තුනක් ගැන සැලසුම් කරලා තියෙන්නේ. මේ අවදානම පහව ගිහින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නත් පුළුවන්. නැත්නම් කොරෝනා වයිරසය එක්කම අපිට තරගාවලිය පවත්වන්න වේවි. ඒ වගේම අපි විය හැකි දරුණුම තත්ත්වය ගැනත් අවධානය යොමු කරලා තියෙන්නේ. මේ තත්ත්ව ගැන අපි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා” Malhotra පවසා සිටියා.

ඉන්දියාව මේ වන විට දරුණු සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටිනවා. දිනෙන් දින වාර්තා වන රෝගීන් ප්‍රමාණය සීග්‍ර ලෙස වැඩි වෙමින් තිබෙන අතර මරණ අනුපාතය ද ඉහල මට්ටමක පවතිනවා. මෙවන් වටපිටාවක් තුල තවත් මාස 6ක් පමණ කාලයක දී ආරම්භ වීමට නියමිතව ඇති ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරමින් සිටිනවා.

ඉන්දියාව තුල තරගාවලිය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ සෞඛ්‍ය අංශ ඇගයීමක් සිදු කරමින් සිටිනවා. 

“අපි දැනට තියන තත්ත්වය ගැන ඇගයීමක් කරනවා. තත්ත්වය දරුණු වුනොත් අපි තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙනයනවා. ඒත් සත්කාරකත්වය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතුව පවතිනවා.” 

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාංගණය 9ක් නම් කර තිබුණා. එයට අහමදාබාද්, චෙන්නාය, දිල්ලි, ධරම්ශාලා, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව් සහ මුම්බායි ක්‍රීඩාංගණ ඇතුළත් වුනා. අවසන් මහා තරගය අහමදාබාද්හිදී පැවැත්වීමටත් සැලසුම් කර තිබෙනවා .

“අපි දැනට සැලසුම් කරලා තියනවා ඉක්මනින්ම ටිකට්පත් අලෙවිය පටන්ගන්න. මේක ලෝක කුසලාන තරගාවලියක්. මේකට ලෝකේ හැම රටකින්ම ප්‍රේක්ෂකයන් එනවා. ඒත් දැන් තියන තත්ත්වය එක්ක අපිට ඒ සඳහා අවසර දෙන්නෙ හැකියාවක් තියේවි කියලා විශ්වාස නැහැ.” 

තවත් ක්‍රිකට් පුවත්:

 

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට දින කීපයකට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වැඩබලන අධ්‍යක්ෂ Geoff Allardice ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුල පවත්වන බව පවසා සිටියා. සැලසුම් හි යම් යම් වෙනස්කම් සිදු වුව ද තරගාවලිය ඉන්දියාවෙන් පිටතට ගෙන නොයන බව ඔහු පවසා තිබුණා.

මේ වන විට ඉන්දියාව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සහිත රට බවට පත්ව තිබෙනවා. රටවල් කීපයක් ඉන්දියාව වෙත ගුවන් ගමන් අවලංගු අර ඇති අතර ඉන්දියාවේ සිට පැමිණෙන අය සඳහා ද තහනමක් පනවා තිබෙනවා. 

මේ නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ක්‍රීඩකයන්ට නැවත තම රටවල් බලා යාම අවදානම් තත්ත්වයකට පැමිණ තිබෙනවා. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල සංචිතය 30ක් දක්වා ඉහල දැමීමට පසුගිය දා අවසර ලබා දුන්නා. ඒ අනුව අතිරේක ක්‍රීඩකයන් සහ අතිරේක පුහුණු කාර්‍යමණ්ඩලයක් සඳහා සහභාගී වීමට හැකියාව ලැබෙනවා. 

“මේ තියන තත්ත්වය එක්ක තරගාවලිය පවත්වන්න අපිට විශාල වියදමක් දරන්න වෙනවා. අපි මේ සඳහා විශේෂ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ක්‍රීඩකයන්ගේ සහ අනෙක් නිලධාරීන්ගේ ආරක්ෂාව තමයි ප්‍රධාන වෙන්නේ” Malhotra තවදුරටත් පවසා සිටියා. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ තුනක් පවතින අතර එම ක්‍රීඩාංගණවල කිසිදු ලෝක කුසලාන තරගාවලියක් පවත්වා නැහැ. පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මෙම ක්‍රීඩාංගණ වල පැවති අතර එහි තණතීරු වල තත්ත්වය පිළිබඳව එතරම් සතුටුදායක බවක් දක්නට ලැබුණේ නැහැ. 

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<