Corona පරදන්න පාපන්දු ලොව එක්වෙයි

145
International Football

මේ වන විට ලෝක වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 වෛරසය මැඩලීමට FIFA, පාපන්දු සමාජ මෙන්ම ක්‍රීඩකයින් ද රැසක් ඉදිරිපත්ව තිබේ. 

වැසිකිළි පවිත්‍ර කරන, වතුර බෝතල් රැගෙන යන සුපිරි පාපන්දු තරුව

Sadio Mane පාපන්දු පිටිය තුළ දක්වන සුපිරි දක්‍ෂතා හරහා පමණක් නොව ඉන් පිටත දී දක්වන

මෙම වසංගතය හරහා පාපන්දු ක්‍රීඩාවට ද දැඩි බලපෑම් එල්ල වූයේ යුරෝපයේ ප්‍රමුඛතම පාපන්දු තරගාවලි වන UEFA Champions League, UEFA Europa League, එංගලන්තයේ Premier League තරගාවලිය, ස්පාඤ්ඤයේ La Liga තරගාවලිය ඇතුළු යුරෝපයේ මෙන්ම අනෙක් සෑම රටකම පාහේ පාපන්දු ලීග් තරගාවලි ද දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවීමත් සමඟ යි. 

එමෙන්ම ජාත්‍යන්තර පාපන්දු පිටිය තුළ පැවැත්වෙන ප්‍රමුඛතම තරගාවලි අතරින් එකක් ලෙස මෙම වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ ‘EURO 2020 තරගාවලිය’ ද ලබන වසර දක්වා කල්දැමීමට සංවිධායකයින් තීරණය කළේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හරහා එල්ල වූ බලපෑමත් සමඟ යි. 

එංගලන්තයේ ප්‍රබල පාපන්දු සමාජයක් වන Arsenal ක්‍රීඩා සමාජයේ පුහුණුකරු Mikel Arteta, ඉතාලියේ Juventus ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙපළක් වන Daniele Rugani සහ Blaise Matuidi, ජර්මනියේ Hannover 96 ක්‍රීඩා සමාජයේ Timo Hubers ඇතුළු පාපන්දු ක්‍රීඩකයින් රැසක් මෙම නව කොරෝනා වෛරසයට ගොදුරු වන විට ස්පාඤ්ඤයේ 21 හැවිරිදි පාපන්දු පුහුණුකරුවෙකු වූ Francisco Garcia එය වැළඳීමෙන් ජීවිතක්‍ෂයට පත්වූයේ පාපන්දු ලොවම කම්පා කරමිනි. 

ඒ අනුව මෙවන් පසුබිමක් තුළ එම වෛරසය මැඩපැවැත්වීම සඳහා ලොව පුරා සංවිධාන, රජයන් සහ විවිධ කණ්ඩායම් ගෙන යන වැඩසටහන් ශක්තිමත් කිරීම උදෙසා FIFA, පාපන්දු සමාජ සහ පාපන්දු ක්‍රීඩකයින් රැසක් සිය මුදල් පරිත්‍යාග එක්කිරීමට මේ වන විට ඉදිරිපත්ව ඇත. 

FIFA

ලෝක පාපන්දුවේ පාලක සංවිධානය ලෙස සැලකෙන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති Gianni Infantino පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිය සංගමය වෛරසයට එරෙහිව සටන වෙනුවෙන් ඩොලර් මිලියන 10ක මුදල් ආධාරයක් සිදුකිරීමට සූදානම් වන බවයි. එමෙන්ම මෙම වෛරස තත්වය හේතුවෙන් පීඩා විඳින පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් හට ආධාර කිරීම උදෙසා ගෝලීය පාපන්දු සහාය අරමුදලක් ස්ථාපිත කිරීම කෙරෙහි ද සිය අවධානය යොමු කරන බව ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

“අපේ සම්මේලනයේ මූල්‍යමය ස්ථාවරභාවය හේතුවෙන් අපි අද විශේෂයෙන් මේ ‘Coronavirus’ එක හරහා උද්ගතව ඇති තත්වය මැඩලන්න ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරන්න පුළුවන් තත්වයක ඉන්නවා. ඒ අනුව මම නිර්දේශ කර සිටිනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘WHO COVID-19 Solidarity Response Fund’ එකට ‘FIFA’ එක හරහා ඩොලර් මිලියන 10ක මූල්‍ය ආධාරයක් ලබා දෙන්න. ඒ වගේම මේ තත්වය හේතුවෙන් පීඩාවට පත්වෙලා ඉන්න පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ අයට උදව් වීම සඳහා ගෝලීය පාපන්දු සහාය අරමුදලක් ස්ථාපිත කිරීමට ද අවධානය යොමු කර සිටිනවා.” ඔහු පැවසීය. 

ඉතාලි පාපන්දු සමාජ 

වෛරසයෙන් වැඩිම පීඩාවට පත් රාජ්‍යය බවට ඉතාලිය පත්ව ඇත්තේ එය ආරම්භ වූ චීනයට ද වඩා වැඩි සමස්ත මරණ සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වීමත්, තවදුරටත් දිගින් දිගටම විශාල මරණ සංඛ්‍යාවක් දිනපතා වාර්තා වීමත් සමඟ ය. කෙසේ නමුත් ඉතාලියේ පාපන්දු සමාජ රැසක් ඊට එරෙහි සටනට සිය දායකත්වය සැපයීමට මේ වන විට ඉදිරිපත්ව තිබේ.  

වර්තමානය තුළ ඉතාලියේ ප්‍රබලතම පාපන්දු සමාජය ලෙස සැලකෙන Juventus පාපන්දු සමාජයේ හිමිකාරීත්වය Exor N. V. සමාගම හරහා දරන Turin නුවර සුප්‍රසිද්ධ Agnelli පවුල වෛරසයට එරෙහි සටන වෙනුවෙන් යූරෝ මිලියන 10ක මූල්‍ය ආධාරයක් සිදුකිරීමට ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මෙම ධන පරිත්‍යාගය ඉතාලියේ Turin සහ Piedmont කලාප වල ජාතික සෞඛ්‍ය සේවය වෙත යොමු කිරීමට නියමිතව ඇත. Juventus පාපන්දු සමාජය නිකුත් කළ ප්‍රකාශයක දැක්වුනේ ඔවුන් කෘතීම ශ්වසන උපකරණ (artificial respirators) 150ක් මිලට ගෙන ඉතාලියේ රෝහල් වෙත ඒවා ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි. 

තවද Juventus පාපන්දු සමාජය විසින් වයඹ දිග ඉතාලි කලාපයේ සෞඛ්‍ය යටිතල පහසුකම් ඉහළ නැංවීම උදෙසා අරමුදල් එකතු කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර පසුගිය සතිය වන විට ඊට යූරෝ ලක්ෂ 4කට අධික මුදලක් එකතු වී ඇත. 

ඉතාලියේ තවත් ප්‍රබල පාපන්දු සමාජයක් වන AC Milan පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේ වෛරසයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම උදෙසා ඔවුන් යූරෝ 250,000ක මුදලක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව මෙම මූල්‍ය ආධාරය ඉතාලියේ Lombardy කලාපයේ රජයේ හදිසි සේවා සැපයීමේ අංශය වන ‘Azienda Regionale Emergenza Urgenza’ වෙත පිරිනැමෙනු ඇත. තවදුරටත් පැවති තත්වය හේතුවෙන් හදිසියේ  ප්‍රේක්ෂකයින් තොරව පැවැත්වීමට සිදු වූ තරග වල ප්‍රවේශපත් ලබා ගත් පුද්ගලයින් හට ඒවායේ මුදල් නැවතත් ලබා දෙන බව ද ඔවුන් දන්වා සිටියේය. 

ඉතාලියේ රෝමය කේන්ද්‍ර කර ගත් ප්‍රබල පාපන්දු සමාජයක් වන AS Roma පසුගියදා Covid-19 වෛරසය මැඩලීමට මුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේ යූරෝ ලක්‍ෂ 5ක මුදලක් එකතු කර ගැනීමේ අපේක්‍ෂාව ඇතිවයි. එම පාපන්දු සමාජයේ සභාපති Jim Pallotta විසින් එය ආරම්භ කරමින් යූරෝ 50,000ක මුදලකුත්, අනතුරුව එහි ‘Roma Cares’ අරමුදලෙන් යූරෝ 89,000කුත් මුදලකුත් පරිත්‍යාග කරනු ලැබීය. පසුව එහි පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සියලු දෙනා මෙන්ම පුහුණුකරුවන් සියලු දෙනා ද ඔවුන්ගේ එක් දිනක වැටුප මේ සඳහා පරිත්‍යාග කිරීමට එකඟ වූ අතර එහිදී එක්වූ මුදල් ප්‍රමාණය යූරෝ ලක්ෂ 2කට අධික ය. ඒ අනුව මේ වන විට එකතු වී ඇති මුළු මූල්‍යමය ආධාර වල ප්‍රමාණය යූරෝ 460,000 කි.  

එම එකතු වූ මුදල් වලින් කොටසක් වහාම ඉතාලියේ වෛරසයට විරුද්ධ සටනේ ප්‍රමුඛ පෙළේ රෝහලක් වන රෝමයේ ‘Lazzaro Spallanzani’ රෝහල වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් මිලදී ගැනීමට වෙන්කරනු ලැබීය. 

තවත් ප්‍රබල පාපන්දු සමාජයක් වන Inter Milan ද වෛරසයට එරෙහි සටන වෙනුවෙන් මුඛ ආවරණ ලක්ෂ 3ක සංඛ්‍යාවක් සහ තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් ‘Italian Civil Protection’ වෙත ලබා දීමට කටයුතු කර ඇත. 

ඉතාලියේ නැඟී එන පාපන්දු සමාජයක් ලෙස සැලකෙන Atalanta ද වෛරසයට එරෙහි ඉතාලියේ සටනට සිය දායකත්වය සැපයීමට ඉදිරිපත් වූයේ යූරෝ 40,000ක මුදලක් උතුරු ඉතාලියේ රෝහලක් වෙත පරිත්‍යාග කරමිනි. 

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක නිරත වන අතරතුර සිය අවසන් කැමති

ජර්මානු ක්‍රීඩකයින් 

නව කොරෝනා වෛරස වසංගතයෙන් දැඩි පීඩාවට පත් තවත් යුරෝපා රාජ්‍යයක් වන ජර්මනිය ඊට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළවල් ශක්තිමත් කිරීම සඳහා එහි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සියලු දෙනා එක්ව යූරෝ මිලියන 2.5ක මුදලක් එක්රැස් කර එය පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ. එමෙන්ම එහි ප්‍රධාන පුහුණුකරු Joachim Low මෙන්ම එහි සාමාන්‍යාධිකාරී තනතුරක් හොබවන Oliver Bierhoff ද සිය වැටුපෙන් කොටසක් ජර්මානු පාපන්දු සංගමය මේ වෙනුවෙන් ගෙන යන ක්‍රියා මාර්ග උදෙසා වෙන්කිරීමට සිය කැමැත්ත පළකර ඇත. 

ඊට අමතරව ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම මෙන්ම ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන Bayern Munich නියෝජනය කරනු ලබන ප්‍රබල ක්‍රීඩකයින් දෙපළක් වන Joshua Kimmich සහ Leon Goretzka එක්ව මෙම තත්වය මැඩලීමට ‘WeKickCorona’ නමින් වැඩසටහනක් දියත් කරමින් ඊට යූරෝ මිලියනයක මුදලක් යෙදවීමට කටයුතු කර තිබේ. තවද මෙම වැඩසටහන හරහා අනෙක් සියලු දෙනාට ද ඔවුන් සමඟ එක්වන ලෙස ඔවුහු අරාධනා ද කරනු ලැබූහ. 

එමෙන්ම මෙම වසංගත තත්වය හේතුවෙන් ජර්මානු ‘Bundesliga’ තරගාවලිය ද මේ වන විට අප්‍රේල් මස 02 වන දින දක්වා කල් දැමීමට තීරණය කෙරුනු අතර ඉන් අනතුරුව ද තරග පැවැත්වෙන්නේ නම් බොහෝ විට ඒ ප්‍රේක්‍ෂකයින් තොරවය. ඒ හරහා තරග ප්‍රවේශපත් විකිණීමට අවස්ථාවක් නොලැබීමත් සමඟ පාපන්දු සමාජ වල ක්‍රීඩකයින්ට මෙන්ම සේවකයින්ට ද වැටුප් ගෙවීම, ක්‍රීඩාංගණ සැකසීම හා නඩත්තුව වැනි කාර්යයන් සිදු කිරීමේ දීද මූල්‍යමය වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවේ. මේ බව සැලකිල්ලට ගත් ජර්මනියේ පළමු පෙළ කණ්ඩායමක් වන Borussia Monchengladbach පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් සියලු දෙනා තත්වය සමථයකට පත්වන තුරු අවශ්‍ය නම් ඔවුන්ගේ වැටුප් ලබා නොගැනීමට තීරණය කර ඒ බව එහි පරිපාලනය වෙත දැන්වීමට කටයුතු කර තිබේ. 

එංගලන්ත පාපන්දු සමාජ 

නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති තවත් රාජ්‍යයක් වන එක්සත් රාජධානියේ තත්වය පාලනය කිරීමට ක්‍රීඩා සමාජ රැසක් අත්වැල් බැඳගෙන තිබේ. එහිදී Manchester නගරය කේන්ද්‍ර කර ගත් ප්‍රබල පාපන්දු සමාජ ද්විත්වයක් වන Manchester United සහ Manchester City පාපන්දු සමාජ පවුම් 50,000 බැගින් ‘Trussel Trust’ අරමුදල වෙත පරිත්‍යාග කර ඇත්තේ උද්ගතව ඇති තත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති ආහාර ඉල්ලුමට පිළියමක් ලෙසයි. එමෙන්ම Everton පාපන්දු සමාජය ද මෙවන් කර්තව්‍යයක් වෙනුවෙන් එවන් මුදලක්ම යොදවා ඇති අතර Aston Villa සහ Newcastle United පාපන්දු සමාජ ද ආහාරපාන සහ පාර්සල් බෙදා හරිමින් සිය දායකත්වය සපයා ඇත. 

තවද ප්‍රබල Chelsea පාපන්දු සමාජයේ හිමිකරු වන Roman Abramovich විසින් ඔහු සතු Stamford Bridgeහි Millenium හෝටලය කිසිඳු ගාස්තුවකින් තොරව වෛරසයට එරෙහිව සටන් වදින වෛද්‍ය කාර්යමණ්ඩලය උදෙසා මාස 2ක කාලයක් සඳහා ලබා දීමට කටයුතු කර ඇති අතර Salford City පාපන්දු සමාජයේ සම හිමිකරුවකු වන හිටපු ක්‍රීඩක Gary Neville ද ඔහු සතු හෝටලයක් එම කාර්යයටම ලබා දීමට තීරණය කර ඇත. 

එමෙන්ම Arsenal සහ Burnley ඇතුළු ප්‍රමුඛ පෙළේ පාපන්දු සමාජ රැසක් ඔවුන් අයත් වන ප්‍රදේශ වල බලධාරීන් සමඟ එක්ව ඔවුන්ට සිය සහයෝගය ලබා දෙමින් වෛරසය මැඩලීමට මේ වන විට කටයුතු කරමින් සිටියි.  

Zlatan Ibrahimovic

ස්වීඩනයේ හිටපු සුපිරි ක්‍රීඩක, මේ වන විට AC Milan කණ්ඩායම නියෝජනය කරන Zlatan වෛරසයට එරෙහි සටන වෙනුවෙන් යූරෝ මිලියනයක මුදලක් එකතු කිරීමේ අරමුණ ඇතිව අරමුදලක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මේ හරහා රැස්වන මුදල් ඉතාලියේ රෝහල් සහ වෛද්‍ය කාර්යමණ්ඩලය වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කෙරෙනු ඇත. 

එය ආරම්භ කරමින් ඔහු විසින් යූරෝ ලක්‍ෂයක මුදලක් ඒ වෙත යොමු කරනු ලැබූ අතර මේ වන විට රැස්වී ඇති සමස්ත මුදල යූරෝ 157,700කට ආසන්න වේ. 

Zlatan Ibrahimović on Twitter

In this dramatic moment for Italy, we created a fundraiser for Humanitas hospitals.I count on the generosity of my colleagues and of those who want to make even a small donation. Let’s together kick the CoronaVirus away and win this match! https://t.co/6o2cvUwEK6 https://t.co/xhwECFFNTA

Son Heungmin 

මෙම වසංගතයෙන් දැඩි පීඩා විඳින තවත් රාජ්‍යයක් වන දකුණු කොරියාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරන සහ එංගලන්තයේ Tottenham Hotspur පාපන්දු සමාජය නියෝජනය කරනු ලබන සුපිරි ක්‍රීඩක Son දකුණු කොරියාව වෛරසයට ගෙන යන ක්‍රියා මාර්ග ශක්තිමත් කරමින් ඒ වෙනුවෙන් කටයුතු කරන සංවිධානයකට ඩොලර් 82,000ක මුදල් පරිත්‍යාගයක් සිදුකර ඇත. 

දකුණු කොරියාවේ Seoul අගනුවර සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පසුගියදා පැමිණීමෙන් අනතුරුව පැවති තත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ නිවස තුළ දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට ද ලක්වීමට සිදුවිය. 

Sadio Mane 

වෛරසයට ගොදුරු වී ඇති අප්‍රිකානු රාජ්‍යයන් අතරින් එකක් වන Senegal රාජ්‍යය මේ වන විට එය මැඩලීම උදෙසා වැඩපිළිවළවල් රාශියක් ක්‍රියාවට නංවමින් සිටින අතර ඒ කෙරෙහි මූල්‍යමය ආධාරයක් සිදුකිරීමට එරට ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ Liverpool පාපන්දු සමාජය නියෝජනය කරන Mane කටයුතු කර තිබේ. ඒ අනුව එරට ඒ වෙනුවෙන් කටයුතු කරනු ලබන ජාතික කමිටුවට ඔහු පිරිනමා ඇති මුදල යූරෝ 45,000 කි. 

තවදුරටත් ඔහුගේ පෞද්ගලික සමාජ ජාලා තුළ වීඩියෝ පටයක් ද පළකරමින් මෙම තත්වය පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත්, එය මැඩලීමට අවශ්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඔහු ජනතාව දැනුවත් කර සිටියේය. 

Ronaldinho බන්ධනාගාරයේත් වැඩ පෙන්වයි

මේ වන විට පැරගුවේ රාජ්‍යයේ බන්ධනාගාරගතව සිටින බ්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක

ඇමෙරිකාවේ Atlanta United FC පාපන්දු සමාජය 

ඇමෙරිකා එක්සත් ජනපදයේ Major League Soccer ලීගයේ ක්‍රීඩා කරනු ලබන Atlanta United FC පාපන්දු සමාජයේ හිමිකරු Arthur Blank විසින් Georgia හා Montana ප්‍රාන්ත වල වෛරසයට එරෙහිව දියත් කර ඇති සටන ශක්තිමත් කරමින් ඩොලර් මිලියන 5.4කට ආසන්න මුදලක් ඒ සඳහා පරිත්‍යාග කිරීමට කටයුතු කරමින් සිටියි. මෙම මුදල් අධාරය ඔහු සිදුකර ඇත්තේ ඔහුගේ පවුල ක්‍රියාත්මක කර ගෙන යනු ලබන අරමුදලක් හරහා යි.

මීට අමතරව ලොව පුරා තවත් පාපන්දු සංගම්, පාපන්දු සමාජ, ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් රැසක් අදාළ රටවල රජයන්, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් කණ්ඩායම් විසින් නව කොරෝනා වෛරසයට එරෙහිව ගෙන යනු ලබන වැඩසටහන් වෙනුවෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා විවිධ ආකාරයෙන් ඔවුන්ගේ සහයෝගය ලබා දීම පසුගිය දින කිහිපය පුරාවට දැකගත හැකිය. ලෝකයට අවශ්‍යම මොහොතක ඔවුන් ඒ ආකාරයට එක්වනු දැකීම ක්‍රීඩාව සහ විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාව හරහා සිදුවන යහපත් ක්‍රියාවන් පිළිබඳව කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැක.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<