LPL 2021 තරගාවලියට ක්‍රීඩාංගණ 4ක්

303

කොරෝනා වසංගතයට මුහුණ දෙමින් සෞඛ්‍ය සම්පන්නබව ආරක්ෂා කරගැනීම සඳහා පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.

කොරෝනා වසංගතය හමුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (29) ක්‍රීඩා අමාත්‍යාංශයේ එළිමහන් පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය හමුවේ දී එතුමා මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

එමෙන්ම ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, FaceBook ඇතුළු සමාජ මාධ්‍යවල සහ ජාතික රූපවාහිනියේ EYE නාලිකාව හරහා සෑම උදෑසනකම දරුවන්ට ක්‍රියාශීලී දිවිපෙවතක් උදෙසා නිවෙස්වල සිට ව්‍යායාම්වලට යොමුකිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ද එතුමා අණාවරණය කළා.

තවද මැයි 04 වැනිදා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ සම්පූර්ණ ආදායම කොරෝනා එන්නත්කරණ වැඩසටහනට යොදවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම පවතින කොරෝනා අවදානම නිසා තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමට නොහැකි වීම පිළිබඳව ද එතුමා සමාව ඉල්ලා සිටියා.

තවත් ක්‍රීඩා පුවත්:

“පවතින කොරෝනා වසංගත තත්ත්වයේ තෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් පාසල් ආරම්භයත් සමඟ නැවත වතාවක් පාසල් ශිෂ්‍යයන්ට නිවෙස්වලට වී අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබෙනවා. එසේම ග්‍රාමසේවා වසම් මට්ටමින් ක්‍රියාකාරකම් සීමා කර තිබෙනවා.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අප නිරන්තරයෙන් උත්සහ කරනුයේ ජවසම්පන්න සමාජයක් සහ ක්‍රියාශීලී රටක් ගොඩනැගීමටයි. ඒ තුළින් අපේ රට දකුණු ආසියාවේ ක්‍රියාශීලීම රට බවට පත්වන  ඉලක්කය වෙත යන අතරතුර ව්‍යායාමවලට යොමු වීම මගින් බෝ නොවන රෝගවලින් ජනතාව මුදා ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. 

විනායානුකූල සමාජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය මෙම කාලවකවානුවේ දී ඒ සඳහා උරදෙමින් ජන ජීවිතය ආරක්ෂා කරගැනීමටත්, අධ්‍යාපනික වැඩසටහන්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම උසස් කිරීමටත්, මාධ්‍ය ආයතන කටයුතු කරනවා.

එසේම දවසේ යම්කිසි කාලපරිච්ඡේදයක කුඩා කාලසීමාවක්වත් පාසල් දරුවන්ගේ සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම අරමුණු කර ගනිමින් ව්‍යායාම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලෙස මා මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරනවා.

රූපවාහිනිය හෝ අන්තර්ජාල වැඩසටහන්වලින් අධ්‍යාපනය හැදෑරීමට ලබා දෙන අවස්ථාවට සමානව උදෑසන උපරිම වශයෙන් පැයක කාලයක්වත් දරුවා ව්‍යායාමවලට යොමු වී කාර්යක්ෂම හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක් ගත කිරීමට අවශ්‍ය ශාරීරික සුවතා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අපේ රටේ දෙමව්පියන්ගේ ආදරයෙන් ගෞරවයෙන් මා ඉල්ලා සිටිනවා. ඒ තුළ දරුවන් බෝ නොවන රෝගවලින් මුදා ගැනීමේ වටපිටාව අපට සකසා ගත හැකියි.

කොරෝනා වසංගතය වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල්වල එකඟතාවය මත පාසල් දරුවන්ගේ ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව අපට තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් අපි ක්‍රීඩා තරග පවත්වනු ලැබුවා. ඉදිරියටත් එම තරග පැවැත්වීම නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කරනවා.

එළඹෙන 04 වැනිදා පැරණි ක්‍රීඩකයන් සහ නවක ක්‍රීඩකයන් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී T20 තරගයක් පැවැත්වීමට කටයුතු කරනවා. එය සජිවීව විකාශය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන සම්පූර්ණ ආදායම COVID එන්නත්කරණ වැඩසටහනට ලබා දෙනවා. 

පවතින COVID-19 තෙවැනි රැල්ලේ අවදානම හමුවේ එය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දිය නොහැකි වීම පිළිබඳ කනගාටු වෙනවා. නමුත් මේ තිබෙන තත්ත්වය කිසිම බාධාවක් නැහැ ජෛව බුබුළ (Bubble) ඇතුළේ ක්‍රීඩා කිරීමට.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් ඔවුන් සමඟ ඉතාමත්ම කිට්ටුවෙන් අප කටයුතු කරනවා. අපේ පරමාර්ථය වන ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට ඔවුන් විශාල සහයෝගයක් ලබා දෙනවා.

සූරියවැව, දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරම යන ක්‍රීඩාංගණ 04ම භාවිත කර මෙම වසරේ LPL තරගාවලිය සහ ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලියක් ලංකාව තුළ පැවැත්වීමට අප බලාපොරොත්තු වෙනවා. 

අපේ රට Bubble ක්‍රමවේදය තුළ නිවැරදිව  ක්‍රීඩාව කළමනාකරණය  වීම සහ  ක්‍රීඩක ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සාර්ථකව සිදු වන හෙයින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ජාත්‍යන්තර තරග පවා අප රටේ පැවැත්වීමට සත්කාරකත්වය ලබා දිය හැකි බව අප විශ්වාස කරනවා.

එක්දින සංචිතයේ මෙන්ම ටෙස්ට් සංචිතයේ  නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. 

නව ක්‍රීඩා පනත තුළින් නව ව්‍යවස්ථාවක් සකස් කර සමස්ත ක්‍රීඩාවේම ව්‍යුහය වෙනස් කිරීමට බලාපොරොත්තු ‍වෙනවා. ජාත්‍යන්තර නිර්දේශවලට අනුකූලව නිලවරණ ක්‍රම වෙනස් කර දීම කෙරෙහි අවධානය යොමු කර එක් එක් සංගම්වල නිර්දේශවලට අනුකූලව ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීම ද සිදු කරනවා. 

ක්‍රිකට් සහ පාපන්දු යන ක්‍රීඩා දෙකට අමතරව එළඹෙන වසරේ සිට ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අරමුදලෙන් වැටුපක් ගෙවා තෝරාගත් ක්‍රීඩා 15කට අදාළව ඒ ඒ සංගම් හරහා පරිපාලන ලේකම්වරු පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. 

ඒ තුළ සංගම්වල පරිපාලන කටයුතු,  ක්‍රීඩා ප්‍රවර්ධනය, ඉහළ කාර්ය සාධනය කමිටුවේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, තරග සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම, පුහුණුකරුවන් පුහුණු කිරීම, පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින් සූදානම් කිරීමට අවශ්‍ය පරිපාලන කටයුතු සිදු කිරීම සහ අමාත්‍යංශයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඔවුන්ට පැවරීමත් සිදු කරනවා“ යැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<