“අපේ‌ ‌ඉලක්කය‌ ‌ලකුණු‌ ‌600ක්”‌ ‌-‌ ‌Grant‌ ‌Flower‌ ‌ ‌

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

206

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (29) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. පළමු දිනය නිමා වන විට තරගයේ සියලු ගෞරව දිනා ගැනීමට සමත්වුනේ ශ්‍රී ලංකා පිතිකරුවන්.

දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ගේ විශිෂ්ට සම්බන්ධතාවය නිසා දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුනේ එක් කඩුල්ලක් දැවී ලකුණු 291ක් ලෙසින්.

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මේ දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු Grant Flower අදහස් දක්වා සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමෙන් අනතුරුව පිටියේ එක්වූ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 209ක් එක් කළා.

ඔවුන් ඔවුන්ගේ මූලික දේවල් ඉතාමත් හොඳින් කළා. ඒ වගේ පිතිකරුවන්ට සුදුසු තණතීරුවක ඔවුන් ඉවසීමෙන් ක්‍රීඩා කළා. මූලික දේවල් හොඳින් කළා කියන්න පුළුවන්. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඒ දෙන්නගේ හැකියාවන් හොඳින් හඳුනා ගෙන ඉන්නේ. හොඳ පන්දු තෝරා බේරාගෙන ලකුණු ලබාගත්තා. 

ඒ වගේම ඔවුන් අලුත් පන්දුවට හොඳින් ප්‍රතිචාර දැක්වුවා. සාමාන්‍යයෙන් ඒක හොඳ පිතිකරුවන්ගේ ලක්ෂණයක්. මේ වගේ තණතීරුවක හොඳින් ලකුණු ලබා ගන්න එක ඉතාමත් හොඳ දෙයක්. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ගත්තම එතන විශේෂ දෙයක් නැහැ. ඔවුන් මූලික දේවල් හොඳින් කළා. එපමණයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ බලාපොරොත්තු පිළිබඳවද Grant Flower අදහස් දක්වා සිටියා.

මම පුහුණුකරු විදිහට ඉතාමත් සතුටු වෙනවා කණ්ඩායමේ ලකුණු පුවරුව ගැන. ඒ වගේම තරගයේ මුල් පන්දුවාර වලින් පස්සේ ඔවුන් ඉතාමත් හොඳින් ලකුණු ලබා ගැනීමේ වේගයක් සටහන් කළා. ක්‍රීඩකයන් ඉතාමත් ධනාත්මක මානසිකත්වයක ඉන්නවා. අපි දැනට 600කට වැඩි ලකුණු ප්‍රමාණයක් තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. ඉන් අනතුරුව බංග්ලාදේශයට පීඩනයක් එල්ල කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔවුන් පළවෙනි ටෙස්ට් තරගයේ දී කළා වගේ. අපේ අනික් සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ.

තවත් ක්‍රිකට් පුවත්:

තණතීරුව ගත්තම පළමු තරගයට සාපේක්ෂව කොළ පැහැය අඩු තණතීරුවක්. මම හිතනවා සිව්වැනි හෝ පස්වැනි දිනය වෙද්දී තණතීරුව මන්දගාමී වෙලා දඟ කැවේවි. අලුත් පන්දුවට තරමක් ලොකු ඉපිලීමක් තියනවා. පසුගිය තරගයේ තණතීරුවට වඩා තරමක් දැඩි තණතීරුවක්. දින කීපයකින් පන්දු යවන්නන්ට තරමක සහයක් ලබාගන්න පුළුවන් වේවි. දැනට නම් පිතිකරුවන්ට ඉතාමත් හොඳ තණතීරුවක්. පන්දු යවන්නන්ට කඩුලු 20ක් ලබා ගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මට එතරම් විශ්වාසයක් නැහැ ඒක දැන්ම කරන්න පුළුවන් වේවි කියලා. ඉපිලීම ටිකක් හිතා ගන්න අමාරු තත්ත්වයක් තිබුණා. 

අපිට 600 පසුකරලා ලකුණු ලබා ගන්න පුළුවන් වුනොත් පීඩනයක් එල්ල කරන්න පුළුවන්. ඒත් තවමත් ඉදිරි දින කීපය ගැන කියන්න බැහැ. 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පසුගිය ඉනිම කීපය තුල දක්ෂ පිතිකරණයක නිරත වුනා. ඔහු පසුගිය තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඒ ඔහුගේ අවසන් ඉනිම් 5 තුල වාර්තා වූ සිව්වැනි අර්ධ ශතකයයි. ඊයේ දිනය නිමා වන විට ඔහු නොදැවී ලකුණු 131ක් ලබා සිටියා.

මම ඔහුගේ පසුගිය තරගවල ලකුණු දැක්කා. ඔහු ඉතාමත් හොඳ රිද්මයක ඉන්නවා. ඔහු ලකුණු ලබාගන්න ලොකු උවමනාවකින් ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමට එන්න ගොඩක් මහන්සි වුනා. ඔහුගේ පිතිකරණය දියුණු කරගන්න ඔහු වුන මහන්සියේ ප්‍රතිඵල දැන් තියනවා. 

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වුන කාලය තුල තිරිමාන්න අපිත් එක්ක තනිවම පුහුණු වුනා. අනෙක් ක්‍රීඩකයන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරද්දී ඔහු පුහුණු තණතීරුවල ක්‍රීඩා කළා. ඒ වගේම ඔහු ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවකින් ඉන්නවා. ඔහුගේ මානසිකත්වයත් ඉහළයි. මම හිතන්නේ ඒ හැමදේම ඔහුගේ ඉනිම්වලට උදව් වුනා. 

පසුගිය තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ දිමුත් කරුණාරත්න ඊයේ දිනයේ වාර්තා වූ එකම කඩුල්ල බවට පත්වුනා. ඔහු දැවී ගියේ ලකුණු 118ක් ලබා සිටිය දීයි.

ඔහුට ශාරීරිකව දිගු ඉනිමක් ක්‍රීඩා කරන්න අමාරුයි. ඒත් මේ වගේ තණතීරුවක උපරිමය කරන්න ඔහුට ඕනේ වුනා. විශේෂයෙන් දකුණු අප්‍රිකාව වගේ රටක ක්‍රීඩා කරලා එද්දී ඔවුන් ඉතාමත් අමාරු තණතීරුවල ක්‍රීඩා කළේ. 

ලොකු දඟකැවීමක් සහිත තණතීරු. ඒ වගේම එංගලන්ත තරගාවලිය තුළ ඉතාමත් හොඳ දඟපන්දු යවන්නන් අපි දැක්කා. ඉතින් ඒ වගේ තරගාවලි වලින් පස්සේ පිතිකරුවන්ට සුදුසු තණතීරුවක් ලැබුණම ඒකේ උපරිමය ක්‍රීඩා කරන්න ඕනේ. ඔහු ලකුණු ලබාගන්න පිපාසයකින් ඉන්නවා. ඔහු ඒක පෙන්වුවා. අවාසනාවන්ත විදිහට ඔහුට තවත් ද්විත්ව ශතකයක් මඟහැරුණා. ඒත් ඔහුට හොඳින් ක්‍රීඩා කරන්න ඕනේ අවශ්‍යතාවය තියනවා. ඔහු ක්‍රීඩා කළ විදිහට මම හිතුවා ඔහු දිගු ඉනිමක් ක්‍රීඩා කරාවි කියලා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කීපයක් පසුගිය තරගාවලි කීපය තුල දක්නට ලැබුණා. ටෙස්ට් තරග කීපයක අමිහිරි පරාජයන් සමඟින් තරගාවලිය සඳහා පිවිසි ඔවුන් තරගාවලියේ මේ දක්වා පෙන්වූ කැපී පෙනෙන දියුණුවට ප්‍රධාන හේතුව පිතිකරණ ලැයිස්තුවේ සංයුතිය බව Grant Flower පවසා සිටියා.

මම හිතන්නේ ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ අපි යොදාගන්න පිතිකරණ සංයෝජනය. අපි දැක්කා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය තුල නවක ක්‍රීඩකයන් රැසක් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. ඒ වගේම අපේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හොඳ මානසිකත්වයකින් සහ හොඳ විශ්වාසයකින් ක්‍රීඩා කළා. ඔවුන් ඒ ලබා ගත්ත විශ්වාසය සහ මානසික ස්ථාවරත්වය තමයි අපි මේ ඉනිම්වල දී දැක්කේ. මේ වගේ තණතීරුවක අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. 

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ දෙවන දිනය අදයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<