මැතිව්ස් වෙනුවෙන් ඉදිරියට ආ Donaldට බංග්ලාදේශයේ විරෝධය!

ICC Cricket World Cup 2023

2473

බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ ප්‍රමුඛත්වයෙන් යුතුව ඇන්ජලෝ මැතිව්ස්ව Timed Out ආකාරයට දවා ගැනීම පිළිබඳ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු Allan Donald හට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විරෝධය එල්ල වී තිබෙනවා.

පසුගිය සඳුදා (06) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගයේ දී හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සිය ඉනිම ආරම්භ කිරීමට ප්‍රමාද වීමේ වරදට අනුව ඔහු Timed Out ආකාරයෙන් දවා ගැනීමට බංග්ලාදේශය සමත් වුනා.

නමුත්, ඒ සඳහා ඉල්ලීම් කළ බංග්ලාදේශ නායක Shakib Al Hasanට සහ අනෙක් ක්‍රීඩකයින්ට බාහිරින් එල්ල වුනේ එතරම් ම හොඳ මට්ටමේ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම ක්‍රියාව විවේචනය කරන අතරේ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක Allan Donald ද මෙම සිදුවීම පිළිබඳ සිය කනස්සල්ල පල කළා.

මැතිව්ස් වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු එවැනි දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වන අයුරු බලා සිටීමට අපහසු බවයි Donald මෙහි දී සඳහන් කළේ.

නමුත් Donaldගේ මේ ප්‍රකාශයට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය (BCB) නම් එතරම් කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.

“ඔහුගේ පෞද්ගලික අදහස් පස්සේ වෙලාවකට කියන්න තිබුණා. ඔහු කණ්ඩායම් කළමනාකාරිත්වයේ කොටසක්, ඒ නිසා කණ්ඩායම තීරණයක් ගන්නා විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම ආචාරධර්ම කඩ කිරීමක්. ඔහුට ඒ ගැන කණ්ඩායම සමඟ හෝ කෙළින්ම අදාළ ක්‍රීඩකයා සමඟ කතා කරන්න තිබුණා. ඔහුට එය BCB වෙත දන්වන්න තිබුණා. නමුත් එය ප්‍රසිද්ධියේ කිව යුතු නැහැ.”

බංග්ලාදේශ කණ්ඩායම් කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු ව සිටිමින් කණ්ඩායමේ තීරණ ප්‍රසිද්ධියේ විවේචන කිරීම නිසා Donaldට මෙම ගැටලුව උද්ගත වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කර තිබුණා.

නමුත් බංග්ලාදේශය සමඟ Donald විසින් වගකීම් දරන අවසන් තරගාවලිය මෙය වන නිසා එම ප්‍රකාශය පිළිබඳ BCBයෙන් විනය ක්‍රියාමාර්ග නොගනීවි යැයි ESPN Cricinfo වෙබ් අඩවිය විසින් සඳහන් කරනවා.

මෙවර ලෝක කුසලානයෙන් පසුව Donaldගේ කොන්ත්‍රාත්තුව අවසන් වීමට නියමිත අතර, ඉන්පසුව තමන් තවදුරටත් කණ්ඩායම සමඟ රැඳී නොසිටිනු ඇති බව Donald විසින් මීට පෙර පාලක මණ්ඩලය දැනුවත් කර තිබුණා. ඔහු 2022 වසරේ දී බංග්ලාදේශය සමඟ කටයුතු කිරීම ආරම්භ කළ අතර ඉන්පසුව බංග්ලාදේශ වේගපන්දු බළඇණියේ විශේෂ වෙනස්කම් රැසක් සිදු වූ බව ද දකින්නට ලැබුණා.

එමෙන්ම මෙම තරගාවලියේ අවසානයත් සමඟින් Donaldට අමතරව, දඟපන්දු පුහුණුකරු රංගන හේරත්, පන්දු රැකීමේ පුහුණුකරු Shane McDermott, ශරීර යෝග්‍යතා අංශ ප්‍රධානී Nick Lee සහ පරිගණක විශ්ලේෂක Shrinivas Chandrasekaran යන අයගේ ද කොන්ත්‍රාත්තු අවසන් වීමට නියමිතයි. නමුත් මින් කිහිප දෙනෙකුට ලබන වසරේ ජනවාරි 02 වැනිදා තෙක් කණ්ඩායම සමඟ රැඳී සිටින මෙන් BCBය විසින් ඉල්ලීම් සිදු කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයෙන් පසුව බංග්ලාදේශයට නවසීලන්තය සමඟ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන අංශ තුන ම ඇතුළත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. මේ හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කරන්නට ඇති බව අනුමාන කළ හැකි.

කෙසේ වෙතත් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ සහ සහය පුහුණුකරු Nic Pothasගේ කොන්ත්‍රාත්තු නිමා වීමට තව බොහෝ කල් ඉතිරි වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේ දී වගකීම් බාර ගත් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාව සමඟ ලෝක කුසලාන තරගයට පෙර සඳහන් කළේ ඔහුට ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමට ලැබුණු කාලය ප්‍රමාණවත් නොවන බවයි. එමෙන්ම ලෝක කුසලානයෙන් පසුව තම වැඩකටයුතු ආරම්භ වනු ඇති බවත් ඔහු මෙහි දී පවසා තිබුණා.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<